Tuesday, May 7, 2024

General line - 0115112241

ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් සටනට සුදුසුකම් ලබයි




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරඟයෙන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරදා ලකුණු 64 කින් ජය ගැනීමත් සමඟයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 188 ක් රැස්කළා. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් පන්දු 53 කදී ලකුණු 85 ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිම හයේ පහර 04 කින් සහ හතරේ පහර 07 කින් වර්ණවත් වුණා. 

එක් හයේ පහරක් සහ හතරේ පහර 06 ක් සමඟින් ධනුෂ්ක ගුණතිලක රැස්කළ ලකුණු සංඛ්‍යාව 55 ක්. භානුක රාජපක්ෂ ද පන්දු 15 කදී ලකුණු 25 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමටද හයේ පහර 03 ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී වහබ් රියාස් සහ තිසර පෙරේරා අතර කඩුලු 02 බැගින් බෙදී ගියා. වනිදු හසරංගට ග්ලැඩියේටස් කණ්ඩායමේ එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවීම විශේෂත්වයක්. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට පන්දු වාර 16 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 124 ක් පමණයි. ජැෆ්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ රහමනුල්ලා ගුර්බාස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 59 ක්. වනිදු හසරංග ලකුණු 29 යි.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 යේ සීමාව පසුකර යාමට ග්ලැඩියේටර්ස් පන්දු යවනන්න් ඉඩ ලබාදුන්නේ නැහැ. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නුවන් තුෂාර පන්දුවාර 03 යි පන්දු 05 කදී ලකුණු 13 ක් පමණක් ලබාදෙමින් කඩුලු 05 ක් බිදහෙළීමට සමත් වුණා. තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස්. 

මේ අතර ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ දඹුල්ල ජෑන්ස් කණ්ඩායම අතර තරගය හෙට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.