Thursday, May 2, 2024

General line - 0115112241

ජැෆ්නා කිංග්ස්, දෙවන වරටත් LPL ශූරයින් වෙයි




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනා ගැනීමට තිසර පෙරේරා නායකත්වය දැරූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, භානුක රාජපක්ෂ නායකත්වය දැරූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම යළිත් වරක් අනුශූරයින් බවට පත් කරමින්. 

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිය කිරුළ රැක ගැණීමට මෙවර සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්වුණා. 

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 41කදී ලකුණු 63ක් රැස් කළා. ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

වේගවත් ආරම්යක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී වේගවත් ලකුණු 54ක් රැස් කරමින් ග්ලැඩියේටර් කණ්ඩායමට වාර්තාගත හඹා යාමක් සදහා බලාපොරොත්තු එක්කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 39කට දුවද්දී දැවී යාමත් සමග තරගයේ පාලනය ජැෆ්නා කිංස්ග් කණ්ඩායම යළි සියතට ගත්තා. පන්දු යැවීමේ දී වනිදු හසරංග හා චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

මෙවර තරගාවලියේ අවසන් තරගයට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරග තුනේම ජය හිමි කර ගැනීමට සමත්ව තිබුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. 

අවසන් මහ තරගයේ වීරයා සහා තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු. මෙවර තරගාවලියේ වාර්තා වූ එකම ශතකය වාර්තා වූයේද අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන්. ඔහු මෙවර තරගාවලියේදී ශතකයක් සහා අර්ධ ශතක දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් මහ තරගය නැරඹීම සදහා විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණය වෙත පැමිණ සිටියා. 2019 වසරෙන් පසු මෙරටදී ක්‍රීඩා තරගයක් නැරඹීමට වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් එක් වූ පළමු අවස්ථාවද මෙයයි.