Wednesday, May 8, 2024

General line - 0115112241

එන්නත් කාඩ්පතේ ගැටළු මගහරින්න සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය




කොරෝනා මර්දන එන්නත්කරණයේ දත්ත ඇතුලත් ඔන්ලයින් එන්නත් කාඩ්පත සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු අදාළ පාර්ශව වෙත ඉදිරිපත් කර කඩිනමින් විසදුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

එන්නත්කරණයට අදාළ විස්තර ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන එන්නත් කාඩ්පත ලබාගත් අයෙකුට බූස්ටර් මාත්‍රාව ලබාගැනීමෙන් පසු එම තොරතුරු ඇතුළත් කිරීමට හැකියාවක් නොමැති බව බොහෝ දෙනෙකු පෙන්වා දෙනවා. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීකදී සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ කිසියම් අයෙකු එන්නත් මාත්‍රා 02 ක් ලබාගැනීමෙන් පසු එන්නත් කාඩ්පත ලබාගෙන ඇත්නම් බූස්ටර් මාත්‍රාව පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරගත යුතු බවයි. එහෙත් එම තොරතුරු ඇතුළත් කිරීමට අදාළ වෙබ් අඩවිය හරහා නිසි ක්‍රමවේදයක් සකසා නැහැ. ලොව වෙනත් රටවල එන්නත් කාඩ් නිකුත් කිරීමේදී බූස්ටර් එන්නත පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා විශේෂිත ක්‍රමවේදයක් පවතිනවා. 

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවයි බොහෝදෙනා පෙන්වා දෙන්නේ. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒ පිළිබඳ සොයාබලා ගැටලු පවතින්නේ නම් ඒවා නිවැරදි කරන ලෙස අදාල අංශ දැනුවත් කරන බවයි.

මේ අතර බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට අතුරු ආබාධ ඇතිවීම සම්බන්ධයෙන් බරපතල තත්ත්වයේ සිදුවීම් මෙතෙක් වාර්තාවී නොමැති බවයි විහේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙරට සමාජ, ආර්ථික පරිසරය යහපත් තත්ත්වයකට පත් කර ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කෙරුණා.