Wednesday, May 15, 2024

General line - 0115112241

මෙම වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාල සටහන එළිදැක්වෙයි




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මෙම වසරේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක් ඇතුළු තරගාවලි 09 කට මෙම වසර තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමට නියමිතයි. 

මෙම වසරේ පළමු තරගාවලිය ලෙස සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 03 කට සහභාගී වනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන්නේ 20 යි 20 තරග 05 කට ක්‍රීඩා කිරීම සඳහායි.

පෙබරවාරි සහ මාර්තු කාලසීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය සංචාරයකට එක්වන අතර ටෙස්ට් තරග 02 කට සහ 20 යි 20 තරග 03 කට එහිදී සහභාගී විමට නියමිතව තිබෙනවා. ටෙස්ට් තරග 02 ක් සඳහා ශ්‍රී ලංකා පිල එලඹෙන මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූනි සහ ජූලි මාසවලදී යෙදී තිබෙනවා. 20 යි 20 තරග 03 ක්, එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග 02 ක් එම තරගාවලියට ඇතුළත්. 

එක්දින තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහභාගී වීම සඳහා පකිස්තානු කණ්ඩායම මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ ජූලි සහ අගෝස්තු මාසවලදීයි. ආසියානු කුසලාන 20 යි 20 තරගාවලිය අගෝස්තු සහ සැප්තැම්බර් කාලසීමාවේදී මෙරටදී පැවැත්වෙනවා. 

20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් කාලසීමාවේදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර අගදී ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.