Thursday, May 16, 2024

General line - 0115112241

විශ්‍රාම ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසි 03 ක්




ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමේදී ඒ පිළිබඳ මාස 03 කට පෙර දැනුම්දීමක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමට සූදානම්වීමේදී හා ඔවුන් විශ්‍රාම යාමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළා. 

ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ භානුක රාජපක්ෂගේ හදිසි විශ්‍රාම ගැනීමයි. 

ඒ අනුව ක්‍රීඩකයින් එවැනි තීරණයකට එළඹෙන්නේ නම් කොන්දේසි 03 කට යටත්විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඉන් පළමු කොන්දේසිය වන්නේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටීනම් ඒ පිළිබඳ අදාළ ක්‍රීඩකයා මාස 03 කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දිය යුතුයි.

ලංකා ප්‍රිමියර් ලීග් වැනි දේශීය ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට විශ්‍රාමික ක්‍රීඩකයින්ට අවසර ලබාදෙන්නේ ද එම තරගාවලියට පෙර පැවැත්වෙන දේශීය තරග වාරයේදී එම ක්‍රීඩකයා සියයට 80 ක දේශීය තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්නම් පමණයි. එමෙන්ම විදෙස් ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් සිටින විශ්‍රාමික ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ට ඒ සඳහා අවසර හිමිවන්නේ අදාළ ක්‍රීඩකයා විශ්‍රාම යාමෙන් මාස 06 ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ගත් මෙම තීරණය අනුව භානුක රාජපක්ෂට ලබන 21 වනදා ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති.