Thursday, May 16, 2024

General line - 0115112241

ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ගැන නැවත සිතා බලන්න - ක්‍රීඩා ඇමති භානුකගෙන් ඉල්ලයි




ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව ඇති බැවින් හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දෙන්නේ. 

ඕනෑම ක්‍රීඩයකයකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකයි. මේ සියලුදෙනා වෘත්තිමය ක්‍රීඩකයන් වන අතර එබැවින් වෘත්තිමය ක්‍රීඩකයන් හැමවිටම එම වෘත්තිමය තත්ත්වයත් රැක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටින බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ආයතනයක් ලෙසයි.  

වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත  ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබෙනවා. 

එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් තිබෙනවා. එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සදහන් කළේ. 

එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමයි.  

පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරුණා. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසා බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ. 

එම ක්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද තමන් මැලි නොවන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.