Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් කිරුළ ලෝක ක්‍රිකට් පිල දිනා ගනී




ඕමානයේ පැවැති ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ලෝක කණ්ඩායම හෙවෙත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. 

ඒ අවසන් මහ තරගයේදී ආසියානු ලයන්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින්. සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, නුවන් කුලසේකර, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් ඊයේ තරගයේදී ආසියානු ලයන්ස් කණ්ඩායම නියෝජනය කළා. 

ආසියානු ලයන්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 256 ක් ලබා ගනිමින්. කොරේ ඇන්ඩර්සන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 43 කදී නොදැවී ලකුණු 94 ක් රැස් කරමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වුණා. 

යළිත් සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ කෙවින් පීටර්සන් ලකුණු 48 ක් රැස් කළේ පන්දු 22 කට මුහුණ දෙමින්. පන්දු යැවීමේ දී නුවන් කුලසේකර කඩුලු 3ක් දවා ගත් අතර, මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආසියානු ලයන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 231ක් පමණයි.  පළමු කඩුල්ල සදහා තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය ලකුණු 57 ක වේගවත් සබදතාවක් ගොඩනැගුවා. 

ඩිල්ෂාන්ගේ පිත්තෙන් යළිත් වරක් එල්ල වූ ඩිල්ස් කූප් පහර, ඊයේ තරගයේදී ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනිමට හැකි වීමද විශේෂත්වයක්. පළමු කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් පන්දු 16 කදී ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියා. සිය පිත්තෙන් සුපිරි පහරවල් එල්ල කරමින් නැවත වරත් ක්‍රීඩා ලෝලීන් අතීතයට රැගෙන ගිය සනත් ජයසූරිය ඊයේ තරයේදී පන්දු 23 කට මුහුණදෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 38ක්. සනත් ජයසූරියේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණා. 

උපුල් තරංග ලකුණු 25 කට දැවීගියා. මොහොමඩ් යූසුෆ් නොදැවී ලකුණු 39යි. නුවන් කුලසේකර හයේ පහර 2 ක් හා හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් රැස් කළේ පන්දු 6 කින්. චමින්ද වාස් හයේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් ලබා ගත්තා. මුත්තයියා මුරලිදරන් ඊයේ තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීම කැපී පෙනුණා. පන්දු යැවීමේ දී ඇල්බි මෝර්කල් කඩුලු 3ක් බිද හෙලූ අතර, මොන්ටි පැනේසා කඩුලු 2 ක් බිද හෙලුවා. 

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කොරේ ඇන්ඩර්සන්. පළමු වරට සංවිධාන කෙරුණු මෙවර ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙස තරග 5කදී කඩුලු 8ක් බිද හෙලූ මෝර්නි මෝකල් සම්මාන දිනා ගත්තා.