Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියාව 05 වන වරටත් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනයි




බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම අද අලුයම සමත්වුණා. ඒ අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින්. 

ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත් පස්වැනි අවස්ථාව මෙය වනවා. 

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 189 ක් රැස් කළා. එංගලන්ත යොවුන් ඉනිමේ මුල් කඩුලු 7 ලකුණු 91 ක් තුළ බිද හෙලීමට ඉන්දීය යොවුන් පන්දු යවන්නන් සමත්වුණා. 

අනතුරුව පිටියේ එක්වූ ජේම්ස් රුව් හා ජේම්ස් සේල්ස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සබදතාවයක් ගොඩ නගමින් එංගලන්ත යොවුන් ඉනිම ලකුණු 200 යේ සිමාව ආසන්නයට රැගෙන ගියා. 

පන්දු යැවීමේ දී රාජ් බාවා කඩුලු 5ක් බිද හෙලු අතර එය වාර්තා පොත් අතරට එක් වූයේ යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයක පන්දු යවන්නෙකු දැක් වූ ඉහළ දක්ෂතාව ලෙසයි.  ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47 යි 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කර ගියා. ෂයික් රෂීඩ් ලකුණු 50ක් ද, රාජ් බාවා ලකුණු 35ක් ද ලබා ගත්තා. 

නිශාන්ට් සින්ධු නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ඉන්දිය යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා. අවසන් මහ තරගයේ වීරයා ලෙස, කඩුලු 5ක් බිද හෙලූ රාජ් බාවා සම්මාන දිනා ගත්තා. මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ 6 වන ස්ථානයයි. 

මෙවර තරගාවලියේදී වැඩිම ලකුණු කඩුලු ලාභියා ලෙස ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක දුනිත් වෙල්ලාලගේ පෙරමුණ ගත්තා. ඔහු තරග 6කට ක්‍රීඩා කරමින් බිදහෙලූ කඩුලු සංඛ්‍යාව 17ක්. දුනිත් වෙල්ලාලගේ මෙම තරගාවලියේදී පන්දුවෙන් සහ පිතතෙන් දැක් වූ දක්ෂතා පිළිබද ක්‍රිකට් විචාරකයින්ගේද දැඩි කතාබහට ලක්වුණා.  දිනුත් වෙල්ලාලගේ වාර්තා පොත් අතරට එක් වූයේ යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක කඩුලු 17ක් සහ ලකුණු 264 ක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙසයි.