Friday, May 17, 2024

General line - 0115112241

IPL වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ගැන අනාවැකි




ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 12 වනදා බැංගලෝර්හිදී ආරම්භ වනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි. 

සියලු කණ්ඩායම් වෙනුවෙන් මේ වන විට ගිවිසුම් ගතව සිටින්නේ ක්‍රීඩකයින් 33 දෙනෙකු පමණක් වන බැවින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට සියලු කණ්ඩායම්වලට සිදු වනවා. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 590 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 23 ක්.

පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රීඩක වෙන්දේසියේ දී එතරම් ඉහළ ඉල්ලුමක් නොතිබුණ ද මෙවර එම තත්ත්වය තරමක් වෙනස් වී තිබෙනවා. පසුගිය කාලයේ පැවැති ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඉහළ දක්ෂතා දැක්වීමට සමත්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල් වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ගේ අවධානය යොමු වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් විචාරකයෙකු වන ආකාශ් චොප්රා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙවර අයි.පී.එල් වෙන්දේසිය සම්බන්ධයෙන් අදහස් පල කර තිබුණා.

එහිදී ඔහු සදහන් කළේ අයි.පී.එල් කණ්ඩායම් විසින් ඉන්දියාවට සමීප රටවලින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා අවධානය යොමු කරන්නේනම් තමා ඊට ඉතා ප්‍රියත්වයක් දක්වන බවයි.

වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා චරිත් අසලංක යන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ද ආකාශ් චොප්රා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. කුමාර සංගක්කාරගේ පැමිණීමත් සමඟ එම ක්‍රීඩකයින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සඳහා ආකර්ශනීය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ආකාශ් චොප්රා පෙන්වා දී තිබෙනවා. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි. ක්‍රීඩක වෙන්දේසිය සිදුවන අවස්ථාව සදහා ද කුමාර් සංගක්කාර එක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.