Friday, May 17, 2024

General line - 0115112241

IPL ක්‍රීඩක වෙන්දේසියේදී වනිදුට ඉතිහාසගත වටිනාකමක්




ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසගත වටිනාකමක් හිමි වුණා. ඒ මෙවර අයි පී එල් තරගවාරය වෙනුවෙන් බැංග්ලොර්හි දැන් පැවැත්වෙන ක්‍රිඩක වෙන්දේසියේදීයි. ඔහුව ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑ පන් ලක්ෂයකට මිලදී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්.

අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි වු ඉහලම වටිනාකම මෙයයි. මීට පෙර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී ඉහලම වටිනාකමක් හිමි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වුයේ ඇන්ජලො මැතිවුස්. 2015 වසරේ පැවති අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ඇන්ජොලෝ මැතිවුස්ව ඉන්දීය රුපියල් කෝටි හත හමාරකට මිලදී ගෙන තිබුණා. 

මෙවර අයි පී එල් වෙන්දේසියේදී මේ දක්වා ඉහලම වටිනාකමක් හිමි වූ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා අතර වනිදු හසරංගද සිටිනවා.  ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරංග සඳහා ඉදිරිපත් කළ ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් කෝටියක්. ඔහු මිලදී ගැනීම සඳහා සන්රයිසස් හයිද්‍රාබද්, පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තියුණු සටනක් පැවතියා. ක්‍රීඩක වෙන්දේසිය අතරතුර වෙන්දේසිකරුට එක්වරම සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් එය පැයකට ආසන්න කාලයක් තාවකාලිකව අත්හිටවනු ලැබුවා. 

වනිදු හසරංගට එක් එක් කණ්ඩායම් විසින් ලන්සු ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවකයි මෙලෙස වෙන්දේසිකරු එක්වරම සිහිසුන්ව ඇද වැටුනේ. කෙසේවෙතත් පැයකට පමණ පසු අයි පී එල් ක්‍රීඩක වෙන්දෙසිය වෙනත් වෙන්දේසිකරුවෙකු විසින් යළි ආරම්භ කළා. එහිදී වනිදු හසරංගට ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑ පන් ලක්ෂයක වටිනාකමක් ලබා දෙමින් ඔහුව මිලදී ගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. එම අගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි විසි අටකට අධික වනවා. 

වනිදු හසරංග ඉකුත් වසරේ පැවති අයී පී එල් තරගවාරයේදීද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළා. මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාව 25ක්.  මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ඉහලම වටිනාකමක් හිමි වුණේ ඉන්දීය ක්‍රීඩක ඉෂාන් ක්‍රිෂාන්ටයි. 

ඔහුව ඉන්දීය රුපියල් පහලොස් කෝටි විසි පන් ලක්ෂයකට මිලදී ගනු ලැබුවේ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.