Thursday, May 16, 2024

General line - 0115112241

විනිසුරුවරුන් ලංකාවට හරස් කපයි : දෙවන T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට




සංචාරක ග්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන 20 යි 20 තරගය ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දු වාරයේදී එම තරගය ජය ගැනීමට =ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගනයේදීයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 දී කඩුළු 08 ක් දැවී ලකුණු 164 ක් රැස් කිරීමත් සමග තරගයේ ලකුණු සම වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සුපිරි පිති හරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගියා. ඔහු පන්දු 53 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 73 ක්. 

අවසන් පන්දු වාරයේදී තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 19 ක් අවශ්‍යවී තිබුණා. එම පන්දු වාරයේදී ශ්‍රී ලංකා පිල ලබාගත්තේ ලකුණු 18 ක් පමණයි. ඒ අනුව තරගයේ ලකුණු සම වූ අතර පිටියේ විනිසුරුවන් ලබාදුන් ඇතැම් තීරණ සම්බන්ධයෙන් ද දැඩි විවේචන එල්ල වුණා. 

ඇතැම් වයිඩ් පන්දු, වයිඩ් පන්දු ලෙස සංඥා නොකිරීම ද අද තරගයේදී විනිසුරුවන් ලබාදුන් මතභේදාත්මක තීරණ ලෙස දැක්විය හැකියි. මේ සම්බන්ධයෙන් තරග විස්තර විචාරකයින් ද තරගය අතරතුර අදහස් පළ කර තිබුණා. ක්‍රිකට් විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකාව මීට පෙර ද ඕස්ට්‍රේලියාවේදී තරග වදින අවස්ථාවලදී මෙවැනි අසාධාරණ තීරණ විනිසුරුවන් විසින් ලබාදී ඇති බවයි. 

ලකුණු සම වූ මෙම තරගයේ සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් එහිදී සාර්ථක ආරම්භයක් ලබාගත්තේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා පිළ සුපිරි පන්දුවාරය නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 05 ක් ලබා ගනිමින්. 

අනතුරුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් යුගල වන ග්ලෙන් මැක්ස්වෙල් සහ මාකස් ස්ටොයිනිස් පන්දු 03 ක් පමණක් වැය කරමින් එම ඉලක්කය පහසුවෙන් හඹා ගියා.

ඒ අනුව දෙවන පන්දුවාර 20 තරගයේ ජය ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවුණා. එම ජයත් සමග තරග 05 කින් සමන්විත මෙම තරගාවලිය 2 ට 0 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන තිබෙනවා.