Wednesday, May 15, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත වෙනුවෙන් මම ටෙනිස් තරග අත්හරින්න සුදානම් - ලොව අංක 01 ක්‍රීඩකයා කියයි 




කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට බල කිරීම වෙනුවට තමන් ඉදිරියේදී පැවැත්වෙන විම්බල්ඩන්, ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලි අත්හැරීමට සුදානම් බව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ප්‍රකාශ කර සිටිනවා.

BBC සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවේදී ඔහු සඳහන් කර සිටියේ තමන්ගේ තීරණය නිසා ගෙවීමට සිදුවන මිල මෙය නම් එය ගෙවීමට තමන් සුදානම් බවයි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි 20ක් ජයග්‍රහණය කර ඇති ලෝක ටෙනිස් ශුරයා ඉකුත් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවයට සහභාගිවීමට එරටට පැමිණියද එරට නිතිය අනුව ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා නොගෙන තිබීම හේතුවෙන් රටින් පිටුවහල් කිරීමට එරට බලධාරීන් විසින් පියවර ගනු ලැබුවා.

එම සිදුවීමෙන් පසු පළමු වරට මාධ්‍ය සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් නොවැක් ජොකොවික් සඳහන් කර සිටියේ තමන් කොවිඩ් මර්ධන එන්නතට විරුද්ධ පුද්ගලයෙකු නොවන බවයි. කෙසේ වුවත් තම සිරුරේ ක්‍රියාකාරිත්වය ගැන තමන් අන් සැමදෙයකට වඩා සිතනා බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඕස්ට්‍රේලියාවේ දී අත්විදීමට සිදුවූ සිදුවීම් ගැන ද මෙහිදී ඔහු මෙසේ අදහස් පළකර සිටියා...

" එය විස්තර කරන්න හරිම අමාරුයි. මම ගුවන් තොටුපලේ සිටියදී, මට මගේ දුරකථනය පැය තුන හතරක් භාවිතා කිරීමට නොහැකි වුණා. ඇත්ත වශයෙන්ම, සිදුවන්නේ කුමක්දැයි මම කිසිවක් දැන සිටියේ නැහැ.

මුලදී මට මගේ පවුලේ අය සමඟ සම්බන්ධ වීමට නොහැකි වූණා. නමුත් පසුව මාව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසුව මගේ දුරකථනය භාවිතා කරන්න අවසරය හිමිවුණා" නොවැක් ජොකොවික් සඳහන් කර සිටියා.

එමෙන්ම ටෙනිස් තරග සඳහා පනවා තිබෙන කොවිඩ් එන්නත ලබා ගැනීම නියමයන් ලිහිල් කිරීමට බලධාරීන් ගේ අවදානය යොමු විය යුතු බවට ද ඔහු මෙහිදී යෝජනා කර සිටියා.