Wednesday, May 15, 2024

General line - 0115112241

IPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්.ටි.ටි.ඊ. හිතවාදීන් ගොරවයි 




මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා ගැනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරෙහිව එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටින බව වාර්තා වනවා.

මෙයින් ප්‍රධානම තැන ගෙන ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තෝරා ගැනුණු මහේෂ් තීක්ෂණට සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තෝරා ගැනුණු භානුක රාජපක්ෂට බවයි වාර්තා වන්නේ. 

මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරනු ලබන බැවින් දමිල ජනතාවට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් ගෙනහැර දක්වමින් මෙම එල්.ටි.ටි.ඊ. හිතවාදීන් දැනටමත් ඉන්දියාවේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ.

ඉන්දියානු රුපියල් ලක්ෂ 70කට මහේෂ් තීක්ෂණ මිලට ගනු ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහය දැක්වීම වර්ජනය කළ යුතු බවට දැක්වෙන සමාජ මාධ්‍ය ප්‍රචාරයන් ද මේ වන විට ඉන්දියාව තුල ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ.

මේ අතර භානුක රාජපක්ෂ හටද මෙවැනිම විරෝධතාවයක් එල්ල වී ඇති බව සඳහන්.

කෙසේ වුවද මිට පෙර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන නුවන් කුලසේකර සහ අකිල ධනංජය IPL තරගාවලිය සඳහා තෝරා ගනු ලැබූ අවස්ථාවන් වලදී එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් ඊට විරෝධය පාමින් ශ්‍රී ලංකාවට සහ යුද්ධ හමුදාවට එරෙහිව අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමට කටයුතු කරනු ලැබුවා.