Tuesday, April 30, 2024

General line - 0115112241

පවුලේ සාමාජිකයින් භූගත බංකරයකට යවා, පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙයි (PHOTOS / VIDEO)




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

61 හැවිරිදි එම විද්‍යාඥයා පවසන්නේ පුටින් මේවනවිටත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව ඔහු පසුගිය සති අන්තයේදී සිය පවුලේ සාමාජිකයින්ව සයිබීරියාවේ භූ ගත බංකරයකට යොමු කර ඇතැයිද එම විද්‍යාඥයා අනාවරණ කර තිබෙනවා. 

කෙසේවෙතත් එය හුදෙක් බංකරයක් නොව සයිබීරියාවේ ඇල්ටායි කදුකරය ආසන්නයේ භූ ගතව ඉදිකළ නගරයක් බවටයි විදෙස් වාර්තා අනාවරණ කරන්නේ. එහි සුව පහසු ජීවිතයක් සදහා අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම අන්තර්ජාල පහසුකම් ඇති බවද එම විද්‍යාඥයා අනාවරණ කර තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවර සහ තවත් නගර කිහිපයක් ඉලක්ක කර රුසියානු හමුදාව තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ යුක්‍රේනයේ ප්‍රදේශ රැසකින් මේවනවිට සයිරන් නලා හඩ ඇසෙන බවයි. 

කිව් අගනුවර අල්ලා ගැනීම රුසියානු හමුදාවේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා. මේවනවිට සැතපුම් 40 ක් පමණ දිගින් යුත් ප්‍රහාරක අවි පුරවා ගත් රුසියානු යුද රථ පෙලක් යුක්‍රේනයේ කිව් අගනුවර දෙසට පැමිණෙමින් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

එම රථ පෙල කිව් අගනුවරට ආසන්න වෙමින් ඇති බව ද වාර්තා වනවා. එමෙන්ම රුසියානු හමුදාව යුක්‍රේනයේ කිව් අගනුවර වැසියන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ට තවමත් නිදහසේ නගරයෙන් පිටවී යා හැකි බවයි. ඒ අනුව කුමන අවස්ථාවකදී හෝ කිව් අගනුවරට දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවටයි ජාත්‍යන්තර විචාරකයන් අනතුරු අගවන්නේ. 

මේ අතර යුක්‍රේනයේ නගර කිහිපයක ආහාර සැපයුම් මාර්ග අවහිර කර ආහාර අර්බුදයක් ඇති කිරීමට රුසියානු හමුදාව උත්සහ දරමින් සිටින බව ද වාර්තා වනවා. නගර රැසක සුපිරි වෙළදසැල්වල මේ වනවිටත් ආහාර අසුරා තිබුණු රාක්ක හිස්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඒ අනුව තවදුරටත් යුක්‍රේනයේ රැදී සිටින පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සදහා යුක්‍රේන හමුදාව කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර රුසියානු හමුදාවට සහය වීම සදහා බෙලරුසියාව ද සිය සොල්දාදුවන් පිරිසක් යුක්‍රේනයට එවා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් කිව්  අගනුවර අල්ලා ගැනීම සදහා රුසියානු හමුදාවට සහය ලබා දෙනු ඇතැයි විචාරකයන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර යුක්‍රේනය පවසන්නේ රුසියානු ප්‍රහාර හමුවේ මේවනවිට යුක්‍රේන වැසියන් 352 දෙනෙකු මියගොස් ඇති බවයි. ඒ අතර ළමුන් 14 දෙනෙකු ද වනවා.