Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියාවේ මීලග ඉලක්කය මෝල්ඩෝව බවට අනාවරණයක් (VIDEO)




රුසියාව විසින් ගොඩබිමින් හා ගුවනින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්රේනයේ කිව් අගනුවර වැසියන් තවදුරටත් සිය වාසස්ථාන අතහැර පළා යමින් සිටිනවා. ඒ හේතුවෙන් නගරයෙන් පිටතට ගමන් කරන දුම්රියවල දැඩි තදබදයක් පවතින බව හා දහස් ගණනක් වූ කිව් වැසියන් දුම්රියවලට ගොඩවීම සඳහා පොරකමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර කිව් අගනුවර වැසියන් වෙත යළිත් අනතුරු ඇගවීමක් සිදුකරන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ කිව්  නගර වාසීන් ජීවිතය හෝ මරණය තෝරා ගත යුතුව ඇති බවයි. ඒ අනුව කිව් අගනුවර ආක්‍රමණය කිරීම සඳහා නගරයට ඇතුළු වෙමින් ඇති රුසියාවේ ආයුධ සන්නද්ධ යුධ ටැංකි හා ට්‍රක් රථ පෙළ තවදුරටත් අගනුවරට ලගාවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම රථ පෙළෙහි දිග සැතපුම් 40 ක් බවයි පැවසෙන්නේ. ඊට අමතරව කිව් අගනුවර ආක්‍රමණය කිරීම සඳහා එම රථ පෙළ සමග 15, 000 කින් සමන්විත රුසියානු යුද සෙබළුන් පිරිසක් ද කිව් අගනුවර වෙත පැමිණෙමින් ඇති බවයි නවතම වාර්තා අනාවරණ කළේ. 

එම ආයුධ සන්නද්ධ රථ පෙළට අමතරව තවත් රථ පෙළක් කිව් අගනුවරට ගිනිකොණ දෙසින් ද පැමිණෙමින් ඇති බව ද වාර්තා වනවා. ඒ අනුව රුසියානු හමුදාව විසින් කිව් නගරය වටලා දරුණු බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇති බවටයි ජාත්‍යන්තර විචාරකයින් අනතුරු අගවා ඇත්තේ. 

මේ අතර අමෙරිකාව අද රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමුවා. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ තීරණයක් අනුවයි. රුසියාව විසින් යුක්රේනය තුළ සිදුකරන හමුදා මෙහෙයුම්වලට විරෝධය පා සිය ගුවන් කලාප වසා දැමූ අනෙකුත් රටවල් සමග අමෙරිකාව ද එක්වන බවයි ජනාධිතිවරයා පැවසුවේ. 

මේ අතර යුක්රේනයෙන් පසු මෝල්ඩෝවා රාජ්‍යය ආක්‍රමණය කිරීම රුසියාවේ මීලග ඉලක්කය වී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් පිරිසකගේ හමුවක් උපුටා දක්වමින්. 

එහිදී බෙලරූස් ජනාධිපතිවරයා සිතියමක් පෙන්වමින් රුසියාව විසින් ප්‍රහාර එල්ල කරන යුක්රේනයේ නගර පිළිබඳ සිය ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

එහිදී යුක්රේනයේ ඔඩෙස්සා වරාය නගරයේ සිට රුසියාවේ මෙහෙයුම් මෝල්ඩෝවාට යොමු කරන බවක් පෙනෙන්නට තිබූ බැවින් යුක්‍රේනයේ අසල්වැසි මෝල්ඩෝවට රුසියාව හමුදා ගමන් කිරීමට සැලසුම් කරන බවට සැක මතුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.