Tuesday, April 30, 2024

General line - 0115112241

තවත් න්‍යෂ්ටික බලාගාරයක් අවදානමේ : රුසියානුවන්ට අවශ්‍ය අපව අතුගා දමන්නයි - යුක්රේන ජනපති කියයි (VIDEO)




රුසියානුවන් විසින් යුක්රේනයත් එහි වෙසෙන ජනතාවත් අතුගා දැමීම අරමුණු කර ගනිමින් මේ වන් විට සියලු පෙරමුණු වලින් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටි යුක්රේනයේ Zaporizhzhia නගරය ද ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටි Zaporizhzhia නගරය ආරක්ෂා කර ගැනීම උදෙසා යුක්රේන හමුදාවන් සහ සිවිල් වැසියන් එක්ව සියලුම මාර්ග අවහිර කරමින් මාර්ග බාධක යෙදීමට පියවර ගෙන ඇති බවයි.

නගරය පසුකරන ජනතාවට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසත් යම් හෙයකින් මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය "චර්නොබිල් බලාගාරයේ ඇතිවූ ඛේදවාචකයට" නොදෙවෙනි වනු ඇති බවයි.

"පුටින්ගේ මන්ද මානසික වැඩ නිසා යුරෝපය නැවතත් න්‍යෂ්ටික අවදානමක.. රුසියානු හමුදාවේ ජනරාල්වරුනි, නැවතත් සිතන්න... මන්ද න්‍යෂ්ටික විකිරණවලට ජාතියක් තෝරා ගැනීමට නොහැකි වගේම එය කිසිවෙකු අත් නොහරිනු ඇත" යැයි යුක්රේන ස්වදේශ අමාත්‍යවරයාගේ උපදේශක Anton Gerashchenok සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

කාර්කිව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ලවූ රුසියානු කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් ගතවූ පැය 24 තුලදී පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 112 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර කාර්කිව් හි සිට කිලෝමීටර් 150ක් උතුරු දෙසින් පිහිටි කොන්ටොප් නගරයට ද රුසියානු බර අවි ප්‍රහාර අඛණ්ඩව එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම නගරය ඉකුත් බදාදා සිට රුසියානු හමුදාවන් විසින් වටකරගෙන සිටිනු ලබන අතර, එහි සිටින පුද්ගලයින්ට යටත් වීම හෝ කාලතුවක්කු ප්‍රහාර වලින් විනාශ වීම යන කොන්දේසි දෙක ඔවුන් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේනයේ ප්‍රධාන වාණිජ නගරයක් වන Kherson හි බලය අත්පත් කර ගැනීමට සිය හමුදාව සමත්වූ බව රුසියාව අද නිවෙදනය කර සිටියා.

කෙසේ වුවත් මේ වන විටත් යුක්රේනයේ නගර රැසක් ඉලක්ක කර ගනිමින් රුසියානු බර අවි ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.