Thursday, May 2, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ඉනිමක ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ සහ ලකුණු 222 කින් ජය ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175 ක්. 

පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 174 ක් පමණයි. එහිදී පැතුම් නිස්සංක නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යෑමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දුවට පහරදීමට පිටියට පිවිසි සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කිසිදු ලකුණක් නොලබා දැවී යාමද විශේෂත්වයක්.

ඒ අනුව ලකුණු 400 ක් ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායම දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට යළි අවස්ථාව ලබාදුන්නා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 178 ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. ධනංජය සිල්වා ලකුණු 30 යි. සෙසු ක්‍රිඩකයින් කිසිවෙකුට ලකුණු 29 සීමාව පසු කර යාමට හැකි වුණේ නැහැ. ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියා. සුරංග ලක්මාල් සහ විශ්ව ප්‍රනාන්දු දෙවනි ඉනිමේදීද ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

දෙවනි ඉනිමේ පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අෂ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4 බැගින් දවාගත්තා. පළමු ඉනිමේදී නොදැවී ලකුණු 175 ක් ලබාගත් සහ තරගය පුරා කඩුළු 9 ක් දවාගත් රවීන්ද්‍ර ජඩේජා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. තරගය පැවැත්වුණේ මොහාලිහිදීයි.

දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වනදා බෙන්ගලූරුහිදී පැවැත්වීමට නියමිතයි.