Sunday, May 19, 2024

General line - 0115112241

ජනවාරි මාසයේ විදේශ ප්‍රේෂණවල සියයට 61 ක අඩුවීමක්




අඛණ්ඩව අටවන මාසයටත් අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපයීමක් වාර්තා කළද ආනයන වියදම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය පුලුල් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

සංචාරක ඉපයීම්වල යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල මන්දගාමී බවක් එම කාලයේදී නිරීක්ෂණය වූ බවයි මහ බැංකුව පවසන්නේ. 2022 ජනවාරි මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකුව ඊයේ දිනයේ නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙනවා.

එම වාර්තාවට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,101 ක් වන අතර එය පෙර වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17 යි දශම 5 ක වර්ධනයක්. ඉකුත් ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,959 ක් වන අතර එහි වර්ධනය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 23 යි දශම 1 ක් වනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ ගිණුමේ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 859 ක්. සංචාරක ඉපැයීම් මඟින් එම කාලයේදී උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 148 ක් වනවා. 

පසුගිය ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලැබී ඇති ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 259 ක්. 2021 වසරේ ජනවාරි මාසයේදී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 675 ක් මෙරටට ලැබී ඇති අතර ඊට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ විදේශ ප්‍රේෂණවල වෙනස ප්‍රතිශතයක් සෘණ සියයට 61 යි දශම 6 ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.