Wednesday, April 17, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් සමාගම කොමර්ෂල් බැංකුව සමග හවුල්කාරීත්වය සමරයි




යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව අතර පවතින බැංකු රක්ෂණ හවුල්කාරීත්වය යටතේ සංවිධානය කෙරෙන වාර්ෂික සම්මාන උළෙලේ නවතම අදියර පසුගිය පෙබරවාරි 15 වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ ප්‍රාදේශිකයන්, ශාඛා සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වන යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ මෙරට විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව අතර පවතින හවුල්කාරීත්වයට දශකයකට ආසන්න ඉතිහාසයක් ඇති අතර, මේ වනවිට එය අතිශයින් ශක්තිමත් සම්බන්ධතාවක් බවට වර්ධනය වී තිබේ.

2021 වසරේදී යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් මෙම හවුල්කාරීත්වය යටතේ තවත් නවතම බැංකු රක්ෂණ සේවා විසඳුම් දෙකක් හඳුන්වා දෙන ලදි. එමෙන්ම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස සේවාවන් ලබාගත හැකි වන ආකාරයට මෙම සේවාවන් ඩිජිටල් නාලිකා ඔස්සේද ලබාදීමට දෙපාර්ශවය කටයුතු යොදා තිබේ. මෙම හවුල්කාරීත්වයේ ඉහළම ඵලදායීතාව සහ වාර්ෂික වර්ධනය පසුගිය වසරේදී වාර්තා වූ අතර, එය බැංකුවේ ආදායම ඉහළ යාමටද හේතුවක් විය.

2021 වසරේදී රු. බිලියනයකට අධික වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) ආදායමක් සමගින් යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්විය.

සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා, කොමර්ෂල් බැංකුවේ බැංකු රක්ෂණ සේවා කණ්ඩායමට තම සුබපැතුම් හා ස්තූතිය පළකළේ ය. “මෙය අතිශයින් සාර්ථක හවුල්කාරීත්වයක්. ඒ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු සියලුම දෙනා ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

2021 වසර සමස්තයක් ලෙස මෙරට රක්ෂණ කර්මාන්තයට අතිශයින් අභියෝගකාරී වසරක් වුවද, බැංකු රක්ෂණ සේවාවන් ඇතුළු අංශ කිහිපයක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගනිමින්, තම වෙළඳපොළ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය.

ජීවිත පෝෂණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරන නිර්මාණශීලී රක්ෂණ විසඳුම් හඳුන්වා දීම යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මූලික අරමුණ වී තිබේ.

“කොමර්ෂල් බැංකුවේ බැංකු රක්ෂණ සේවා කණ්ඩායම පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම මා බෙහෙවින් අගය කරනවා. අපට මෙවැනි විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගැනීමට හැකි වී තිබෙන්නේ සෑම විටම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමට සමත් වීම නිසයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවා ප්‍රධානී වින්ධ්‍යා කුරේ මහත්මිය පැවසුවා ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වින්ධ්‍යා කුරේ මහත්මිය පෙන්වා දුන්නේ, විශ්වාසය හා අවංකභාවය පදනම් කරගනිමින් හවුල්කාර බැංකු සමග ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩනංවා ගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇති බවයි. මෙම හවුල්කාරීත්වයන් මගින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සේවාවන්හි වටිනාකම තවදුරටත් වැඩි වී ඇති බවත්, එය සමාගමේ තිරසාර වර්ධනයට මහෝපකාරී වන බවත් ඇය පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.