Tuesday, April 30, 2024

General line - 0115112241

පාකිස්තාන අගමැතිට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද




පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ අධිකරණ නියෝගයකට අනුවයි. 

පකිස්තාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එරට විපක්ෂය ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඉවත දමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, අදාළ විශ්වාසභංග යෝජනාව අද යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් පකිස්තාන අධිකරණය ඉකුත්දා නියෝග කළා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන් සතු බවයි පාකිස්තාන විපක්ෂය පවසන්නේ.  අධිකරණ නියෝගයට අනුව විශ්වාසභංගය ඉදිරියට ගෙන ඒම තුළින් ව්‍යවස්ථාව ද ආරක්ෂා වූ බව විපක්ෂය සදහන් කළා. කෙසේවෙතත්, තමන් ධූරයෙන් පහකෙරුණද විපක්ෂය පිහිටුවන රජයක් පිළිගැනීමට කිසිසේත් සූදානම් නැතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

 තමන් බලයෙන් පහ කිරීම සදහා රට තුළ අමෙරිකානු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එබැවින් විදෙස් මුදලින් ක්‍රියාත්මක එම නාටකයට එරෙහිව අද දිනයේදී වීථි බැස විරෝධතාවයේ නිරත වන්නැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පකිස්තාන වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.