Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාවයි ඇමරිකාවයි කරන්න හදන්නේ මොකක්ද?




ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉතිහාසයේ බිහිකෙරුණු ශක්තිමත්ම සබඳතාවන්ගෙන් එකක් නිර්මාණය කිරීම වෙනුවෙන් දෙරටේ ආරක්ෂක සහ විදේශ ඇමතිවරු/ලේකම්වරු පසුගියදා විශේෂ මුලපිරීමකට එක්වුණා.

මෙම මුලපිරීම සංවිධානය කර තිබුණේ එක්සත් ජනපදයේදී.

පසුගිය අප්‍රේල් 11වැනිදා සංවිධානය කර තිබුණු මෙම අවස්ථාවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජෝන් ඔස්ටින් හා එරට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් එක්වුණා.

මෙම 'සිව්වන එක්සත් ජනපද-ඉන්දියාව 2+2 අමාත්‍ය සංවාදයේ'(fourth U.S.-India 2+2 Ministerial Dialogue) සාකච්ඡාවට භාජනයවූ ප්‍රධාන කරුණු වූයේ ආරක්ෂාව, විද්‍යාව හා තාක්‍ෂණය, වෙළඳාම, දේශගුණය, මහජන සෞඛ්‍යය සහ අන්තර් පුද්ගල සබඳතා යනාදියයි.

ඒවා හරහා එක්සත් ජනපද-ඉන්දියා හවුල්කාරිත්වයේ පුළුල්භාවය තවදුරටත් තීව්‍ර කරගැනීමට නායකයන් සිව්දෙනා ගැඹුරු සහයෝගීතාවක් ඇති කරගත බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මෙම සාකච්ඡාවල පැවැති වඩාත් විශේෂත්වය වූයේ නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිට යුරෝපය දක්වා විහිදෙන ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක ප්‍රමුඛතා පරාසයක් පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කරගැනීමයි.

යුක්රේනයේ පවතින අර්බුදය හමුවේ මානුෂීය ආධාර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවන අර්බුද සම්බන්ධයෙන් සමීප උපදේශන පවත්වා ගැනීමටද මෙහිදී ඔවුන් එකඟවී තිබෙනවා.

එක්සත් ජනපදය විසින් මෙවර ගොඩනගාගනිමින් සිටින නව සමීප සම්බන්ධාතාවයේදී ඉන්දියාව 'ශුද්ධ ආරක්ෂක සැපයුම්කරුවකු' ලෙස හඳුන්වාදීමට කටයුතු කිරීම තවත් විශේෂත්වයක්.

ඉන්දියාව කලාපයේ ශුද්ධ ආරක්ෂක සැපයුම්කරුවකු ලෙස සිදුකරන භුමිකාවේදී ඊට සහාය දැක්වීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කරදීම වෙනුවෙන් එක්සත් ජනපදය සහ ඉන්දියාවේ වෙනත් හවුල්කරුවන් සම්බන්ධීකරණය කරන බවට මෙහිදී එක්සත් ජනපදය තහවුරුවක් ලබාදී තිබෙනවා.

වර්තමානය වන විට ඉන්දියානු හමුදාව වඩාත් ඒකාබද්ධව, ඒකාබද්ධ බලවේගයක් ලෙස මතුවෙමින් පවතින බව මෙහිදී එක්සත් ජනපදය විසින් පෙන්වාදී ඇති අතර එක්සත් ජනපද සහ ඉන්දියානු හමුදාවන්ට මුහුදේ සිට සයිබර් අවකාශය දක්වා වූ පුළුල් අවකාශයක එක්ව කටයුතු කිරීමට ඇති හැකියාවේ වැදගත්කමද ඇමෙරිකාව අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජනපද සහ ඉන්දියානු හමුදා මෙම සියවසේ අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දෙන බැවින්, අභ්‍යවකාශය සහ සයිබර් අවකාශය වැනි නව ආරක්ෂක වසම්වලදී සහයෝගීතාව අත්‍යවශ්‍ය බව දෙපාර්ශ්වයම මෙම සාකච්ඡාවේදී පිළිගෙන තිබෙනවා.

මේ වන විට එක්සත් ජනපදය සහ ඉන්දියාව අභ්‍යවකාශ තත්වයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකට අත්සන් තබා ඇති අතර, ඒ හරහා ඒකාබද්ධ සයිබර් පුහුණුව සහ අභ්‍යාස පුළුල් කරමින් ආරක්ෂාව පිලිබඳ කෘත්‍රිම බුද්ධි සංවාදයක් දියත් කිරීමට ද නායකයන් සිව්දෙනා එකඟවී තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය, සාගරයේ නිදහස සහ ස්වෛරී රාජ්‍යයන්ගේ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම පිළිබඳ ඉන්දු-අමෙරිකානු හවුල් මූලධර්ම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා ඔස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපීය හවුල්කරුවන් ඇතුළුව සමාන අදහස් ඇති ජාතීන් සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ කිරීමේ ක්‍රම පිළිබඳවද ඔවුන් වැඩිදුරටත් එහිදී අවධානය යොමුකර තිබෙනවා.

දෙරට අතර මෙම නව මුහුණුවරකින් යුතු සාකච්ඡා පිළිබඳව එය ආරම්භවීමට ප්‍රථමයෙන් සිටම විශේෂයෙන්ම එක්සත් ජනපදය වැඩි ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනු දැකගත හැකි උණා.

ඒ වෙනුවෙන් දින කිහිපයකට පෙර සිටම එක්සත් ජනපද පාර්ශ්වය විදේශීය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය ලබාදී තිබුණේ, ඉන්දු - පැසිෆික් කලාපයේ සංවර්ධන ඉලක්ක අලුත් කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව සමග නව සංවාදයක් ආරම්භ කිරීමට එක්සත් ජනපදය සූදනම් බව ප්‍රකාශ කරමින්.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි පසුගිය සතියේ පෙන්වාදුන් ආකාරයට, එක්සත් ජනපදය හා ඉන්දියාව අතර අනාගත සම්බන්ධතා පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් විශාල විශ්වාසයකින් පසුවෙනවා. 

‘‘ඉන්දියාව සමග පවතින හවුල්කාරීත්වය ලොව අපට ඇති වැදගත්ම සබඳතාවලින් එකක් බව ජනාධිපති බයිඩන් විශ්වාස කරයි.ඉන්දු - පැසිපික් කලාපයේ මෙන්ම ලොව පුරා අනෙකුත් ස්ථානවලද අපගේ ඉලක්ක ඉදිරියට ගෙනයෑම සඳහා අපට ඉන්දියාව සමග පවත්නා සබඳතා ඉතාම වැදගත් වෙනවා’’ යැයි නිවේදනයක් නිකුත් කරමින් ජෙන් සාකි පෙන්වාදී තිබුණා.

මෙම විශේෂ සාකච්ඡා වටයෙන් අනතුරුව පසුගිය අගෝස්තු 15වැනිදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේදී විශේෂ දේශනයකට සහභාගී වුණා.

එහිදී රාජ්‍ය ලේකම්වරයාගේ මාතෘකාව බවට පත්ව තිබුණේද එක්සත් ජනපද- ඉන්දු නව සහයෝගීතාවයි. දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහාත්, කොවිඩ්-19 ඇතුළු රටවල් දෙකම මුහුණ දෙන වෙනත් විශාලතම අභියෝග සඳහාත් එක්සත් ජනපදයට සහ ඉන්දියාවට අඛණ්ඩව, එක්ව, සහයෝගීතාවෙන් කටයුතු කරනවා මෙන්ම එම අභියෝගයන්ට මුහුණදෙන වෙනත් ජාතීන්ටද මගපෙන්වන බවත් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එහිදී පෙන්වා දුන්නා.

"එක්සත් ජනපද-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්වය, 21 වැනි සියවසේ ගැටලු විසඳීම සඳහා අතිශයින්ම තීරණාත්මක සහ අත්‍යවශ්‍ය බව මට විශ්වාසයි." යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

බ්ලින්කන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් සමග කලාපිය සහයෝගීතාවන් පිළිබඳව එහිදී විශේෂ සාකච්ඡා වටයක්ද පවත්වනු ලැබුවා.

ඉන්දීය සිසුන් 200,000කට වැඩි පිරිසක් එක්සත් ජනපද විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන බව මෙහිදී පෙන්වාදුන් ඉන්දීය විදේශ ඇමතිවරයා බොහෝ ඇමරිකානු සිසුන්ද අධ්‍යාපනය වෙනුවෙන් මේ වන විට ඉන්දියාවට ආදී එමින් සිටින බව සඳහන් කරනු ලැබුවා.

ඉන්දියාවට සහ එක්සත් ජනපදයට පිරිසිදු බලශක්තිය සඳහා එකිනෙකාට සහාය දැක්විය හැකි ආකාරය පිළිබඳවද නායකයන් මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් සමග අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් විද්යාර්තින්ගෙන් නව සංකල්ප අවශ්‍ය බවද දෙරටේම ඊට ප්‍රමාණවත් දැනුම් පද්ධතියක් සහිත තරුණ පරම්පරාවක් සිටින බවද මෙහිදී නායකයන් දේපල පෙන්වාදී තිබෙනවා.

ඉන්දු-අමෙරිකානු මෙම නව සහයෝගිතාවට ප්‍රථමයෙන්, ඊට ආරම්භයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර අථත්‍ය හමුවක්ද පැවැත්වුණා.

යුක්රේනයේ ගැටුම ආරම්භ වූ දා සිට දෙරට අතර පැවැති ද්විපාර්ශ්වික සම්බන්ධතා යම් සෙලවීමකට ලක්ව ඇති බවට ඇතැම් පාර්ශව පෙන්වාදී තිබුණු නමුත්, නායකයන් දෙපලට අවශ්‍යවී තිබුනේ එම ප්‍රවෘත්තිවල සැබෑවක් නොමැති බව තහවුරු කරලීමයි.

මොස්කව් සමඟ දිගුකාලීන හවුල්කාරිත්වය සහ රුසියානු ආයුධ මත දැඩි ලෙස රඳා පැවතීම නිසා නවදිල්ලිය රුසියානු ආක්‍රමණය හෙළා දැක නැහැ.

මෙම සාධකය එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ සබඳතා සඳහා අභියෝගයක් ලෙස පවතින බවයි ඇතැමුන්ගේ අදහස වී තිබුනේ. මොස්කව් තවදුරටත් විශ්වාසදායක ආරක්ෂක හවුල්කරුවෙකු නොවන බව නවදිල්ලියට ඒත්තු ගැන්වීමට එක්සත් ජනපදය උත්සාහ කරන බවද ඔවුන් පෙන්වාදී තිබුනා.

කෙසේවුවත් දැන්, මෙලෙස අවසන් කෙරුණු දෙරටේ අමාත්‍ය මට්ටමේ ඉහළපෙලේ නව ද්විපාර්ශ්වික සාකච්ඡා වටයෙන් අනතුරුව දෙපාර්ශවය විසින්ම ලොවට පෙන්වා ඇත්තේ යුක්රේන යුද්ධයෙන් ඇතිවුණු දුරස්තභාවයක් වෙනුවට දෙපාර්ශවය විසින් වෙනත් නව පෙරමුණක් හරහා ලෝකයට නායකත්වය සහ ආරක්ෂාව ලබාදීමට සුදානම් වෙමින් සිටින බවයි.