Wednesday, May 8, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක්




පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයට අනෙකුත් පාර්ශව සමග එක්ව විසඳුම් ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන අයි එම් එෆ් වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ. 

අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැති අයි එම් එෆ් සහ ලෝක බැංකු රැස්වීම අතරතුර අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ අයි එම් එෆ් කළමනාකාරීත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් හමුවුණා. එහිදී ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.  

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේදී දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

ඒ අනුව ඉදිරියේදී IMF කණ්ඩායම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමෙන්, වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.