Saturday, April 27, 2024

General line - 0115112241

දේශපාලනඥයින් පිරිසක් ඉන්දියාවට පලා ගියාද? ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්




ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දියාවට පලාගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා. පදනම් විරහිත එම අසත්‍ය ප්‍රකාශ දැඩිව ප්‍රතික්‍ෂේප කරන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන ජනතා විරෝධයත් සමග ඉන්දීය විරෝධී විදේශ බලවේග ප්‍රයෝජන ගනිමින් සිටින බවත් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල කරන බව භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. 

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය හමුදාව යොමු කළ යුතු බවයි සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් සටහනේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.  

මේ අතර ඓතිහාසික බැඳීමක් ඇති සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය හා ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දියාව පූර්ණ සහය ලබාදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. අසල්වැසියාට ප්‍රමුඛතාව පදනම මත වත්මන් අසීරුතාවලින් මිදීමට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3යි දශම 5 ක් පමණ වටිනා උපකාර ලබාදී ඇති බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.