Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැන කියන්න ජපන් සහ බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රිකයින් සිය රට බලා යයි




මෙරට වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ දී මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙන්ම අමෙරිකානු, චීන සහ ජපන් තානාපතිවරුන් සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි. 

අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ ඉදිරි වැඩකටයුතු සඳහා ඉන්දියාවේ සහය ලබාදෙන බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජපානය දැනුවත් කිරීම සඳහා හෙට දිනයේ සිය රට බලා යන බවයි මෙරට ජපාන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ. 

මෙරට අමෙරිකානු තානාපතිවරිය හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවධානයක් යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර සමාලෝචනය කිරීමට මෙරට චීන තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා වෙත පොරොන්දුවක් ද ලබාදී ඇතැයි සඳහන්. 

අග්‍රාමාත්‍යධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මෙරට පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය ද අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ එළඹෙන සති කිහිපය ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වය සම්බන්ධයෙන් අසීරු වනු ඇති බවත්, මෙරට ජනතාව වෙනුවෙන් තවදුරටත් සහය ලබාදීමට සූදානම් බවයි. 

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය රජය දැනුවත් කිරීමේ අරමුණින් මෙරට බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය සිය රට බලා පිටත්ව යාමට නියමිතයි. 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්ලයාලයේදී සිය රාජකාරී ආරම්භ කළා.