Saturday, April 27, 2024

General line - 0115112241

අමාත්‍යධුර එපා - අගමැති වෙන්න සුදානම් : සජිත් යළිත් ජනපතිට ලියයි




ජනමතයට පටහැනිව පිහිටුවීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජනබලවේගය විසින් කිසිඳු සාමාජිකයෙකු යෝජනා නොකරන බව එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, ජනාධිපතිවරයා ඔහු වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින්. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ලිපියෙන් දන්වා සිටියේ නව අමාත්‍ය මණ්ඩලයට සමගි ජනබලවේගයේ සාමාජිකයින්ගේ නම් යෝජනා කරන්නේ නම් නොපමාව එම නම් ඉදිරිපත් කරන ලෙසයි. එම ලිපියට පිළිතුරු දක්වමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් මැයි 12 වන දින යොමු කළ ලිපියේ සඳහන් කොන්දේසිවලට යටත්ව තමන් විසින් පිහිටුවන රජයක අගමැති ලෙස කටයුතු කිරීමට කැපවී සිටින බවයි. 

මේ අතර නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව එම පෙරමුණ පවසන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබාදෙන බවයි.