Saturday, April 27, 2024

General line - 0115112241

තේ පානය අඩු කරන්නැයි පකිස්ථාන් රජය ජනතාවගෙන් ඉල්ලයි




දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය අඩු කරන ලෙස පකිස්තාන රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කඩා වැටී ඇති ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ආරම්භ කර ඇති එක් පියවරක් ලෙස එලෙස තේ පානය අඩු කිරීමට පකිස්තාන රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ අනුව සෑම පුද්ගලයෙකුම තමන් දෛනිකව පානය කරන තේ කෝප්ප ප්‍රමාණය අඩු කිරීමෙන් රටේ ආනයනය වියදම ද අඩුකර ගත හැකි බවයි පකිස්තාන රජය පෙන්වා දෙන්නේ. පකිස්තානය තේ ආනයනය කරනු ලබන්නේ ණය පදනම යටතේයි. එබැවින් දිනකට කෝප්ප දෙකකින් හෝ තේ පරිභෝජනය අඩු කරන ලෙස පකිස්තාන රජය සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. 

පකිස්තානය දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින බවත් පවතින විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 02 කටත් වඩා අඩු කාලයකට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එබැවින් ආනයන වියදම් හැකිතාක් කපා හැර විදෙස් මුදල් සංචිත ඉහළ නංවා ගැනීම පකිස්තාන රජයේ අරමුණයි. 

එහි එක් අදියරක් ලෙසයි තේ ආනයනය සඳහා සිදුකරන වියදම් කප්පාදු කිරීමට පකිස්තාන රජයේ අවධානය යොමුව ඇත්තේ පකිස්තානය සැලකෙන්නේ ලොව විශාලතම තේ ආනයනකරු ලෙසයි. පසුගිය වසරේදී පමණක් පකිස්තානය ඩොලර් මිලියන 600 කට වඩා වියදම් කොට තේ ආනයනය කර තිබෙනවා.

පකිස්තානය තුළ එක් පුද්ගලයෙකු වසරකට අවම වශයෙන් තේ කිලෝ ග්‍රෑම් 01 ක් පමණ පරිභෝජනය කරන බවට ඇස්තමේන්තු කර ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර විදුලි පරිභෝජනය අඩුකර විදුලිය සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කර ගැනීම සඳහා සිය වෙළඳසැල් රාත්‍රී 8 යි 30 න් පසුව වසා දමන ලෙසයි පකිස්තාන රජය ව්‍යාපාරික ප්‍රජාවට යෝජනා කර ඇත්තේ.