Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපති සිංගප්පුරුවට ගොස් නැහැ : තවමත් මාලදිවයිනේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් මාලදිවයිනේ මාලේ අගනුවර රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි. 

SQ437 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ මාලේ නුවර සිට සිංගප්පූරුව බලා යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බවයි එම පුවත් සේවය වාර්තා කළේ. 

කෙසේවෙතත් ආරක්ෂක ගැටළු හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ පරිදි එම ගුවන් යානයේ ගමන් කර නොමැති බව ද එම පුවත් සේවය වාර්තා කර තිබුණා. ඒ අනුව මාලදිවයිනේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බව ද වාර්තා වන බවයි මාලදිවයිනේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ හා තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේ අලුයමයි.