Sunday, May 5, 2024

General line - 0115112241

අසාධාරණයට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් පිරිසකගෙන් රජයට ඉල්ලීමක්




පොලිස් දිනය යෙදෙන සැප්තැම්බර් 3 වනදාට හෝ සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමේදී තමන්ට උසස්වීම් ලබාදෙන ලෙස අසාධාරණයට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. 

සරත් වීරසේකර මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සදහා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් සම්මුඛ පරීක්‍ෂණ සදහා කැදවනු ලැබුවා. 

ඊට 600 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් ඉල්ලුම් කළ අතර ඉන් 200 කට ආසන්න නිලධාරීන් සදහා උසස්වීම් ලබාදී තිබුණා. කෙසේවෙතත් සුදුසුකම් සහිත ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 142 දෙනෙකුට එම උසස්වීම් ලැබි නැහැ. තමන් වෙනුවට සුදුසුකම් අඩු ජේ්‍යෂ්ඨත්වයෙන් පහළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් පිරිසකට උසස්වීම් ලබාදී ඇති බවටයි එම නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 4 ක්ද පවරා ඇත්තේ.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට වසරකට අවස්ථා තුනකදී උසස්වීම් ලැබෙන බව එම නිලධාරීන් පෙන්වා දෙනවා. නිදහස් දිනය, විජයග්‍රහණ දිනය සහ හමුදා දිනයදී ඔවුන්ට එම උසස්වීම ලබාදුන්නද පොලිස් නිලධාරීන්ට එවැනි අවස්ථාවක් මෙතෙක් හිමි වී නැහැ.

එය සැලකිල්ලට ගෙන අගතියට පත් පොලිස් නිලධාරීන්ට පොලිස් දිනයේදී හෝ උසස්වීම් ලබාදෙන ලෙස අලුතෙන් පත්වූ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද ඔවුන් ඉල්ලීමක් කරනවා.