Saturday, April 27, 2024

General line - 0115112241

හික්මීයන්ගෙන් බෝවන චීන අලුත් වෛරසය ගැන ලෝකයේම අවධානය




හික්මීයන් වැනි කුඩා මීයන් විශේෂයකින් පැතිරයන බවට හඳුනාගෙන ඇති  “ලන්යා” නම් චීනයෙන් සොයාගත් නව වෛරසය සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමුව තිබෙනවා. අසල්වැසි රාජ්‍යයක් වන තායිවාන රෝග පාලන මධ්‍යස්ථානය පවසා ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ තම රට දැඩි අවධානයෙන් පසුවන බවයි. 

මෙම නව වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ බරපතල අවදානමක් නොමැති බැවින් ඒ පිළිබඳ කලබල විය යුතු නැතැයි වෛරය සොයාගත් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරයෙකු පවසා තිබෙනවා. එහෙත් එහි ව්‍යාප්තිය පිළිබඳ තවදුරටත් දැඩි අවධානයෙන් සිටින බව ඔහු පවසනවා. ඊට හේතුවී ඇත්තේ නව වෛරස මිනිසුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන අවස්ථාවේදී අනපේක්ෂිත ප්‍රතිඵල පෙන්නුම් කිරීම බවයි ඔහුගේ පුරෝකථනය වී ඇත්තේ. 

මෙම වෛරසය සොයාගත් විද්‍යාඥයින් පවසන්නේ මේ දක්වා සිදුකළ පරීක්ෂණ නියැදි සියයට 27 කින් නව වෛරසය සොයාගෙන ඇති බවයි. ඒ අතරින් සුනඛයින්ගෙන් සියයට 5 ක්ද, එළුවන්ගෙන් සියයට 2 ක්ද අයත්වීම විශේෂත්වයක්. අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ මේ වන විට මිනිසුන් තුළින් මතුවන නව බෝවන රෝග 4 න් 3 ක්ම සතුන්ගෙන් පැමිණෙන බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවයි.

දේශගුණික විපර්යාස මෙන්ම සතුන්ට එරෙහි විනාශයන් මෙවැනි රෝග පැතිරීමට බලපා ඇති බවත් ඉදිරියේදී මෙම තත්ත්වය වැඩිවිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පවසනවා.

වේගයෙන් ව්‍යාප්ත වන බවට පැවසෙන “ලන්යා” නම් චීන නව වෛරසය ආසාදිත 35 දෙනෙකු මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. රෝගීන් බොහෝ පිරිසකට රෝග ලක්ෂණ ලෙස උණ සහ කැස්ස පවතින බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් මෙම වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බව මෙතෙක් හඳුනාගෙන නැහැ.