Sunday, May 5, 2024

General line - 0115112241

අද සිට දින පහේම පාසල් - ළමුන් ප්‍රවාහනයට ඩීසල් මදි බව වෑන් රථ හිමියන් කියයි




සතියේ දින පහේම පාසල් ළමුන් ප්‍රවාහනය සදහා සිය වාහනවලට සතියකට ලබාදෙන ඩීසල් ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එහි සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ සිය වාහනවලට  සතියකට ලබාදෙන ඩීසල් ප්‍රමාණය ලීටර් සියය දක්වා ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කළයුතු බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා.

මේ අතර සතියේ දින පහේම පාසල් පැවැත්වීම සැලකිල්ලට ගනිමින් අද දිනයේ පෞද්ගලික බස් රථ සියයට 90 ක පමණ ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

කෙසේවෙතත් ලංගම ඩිපෝ නොමැති ප්‍රදේශවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට යම් අපහසුතා ඇති විය හැකි බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. 

මේ අතර අද දිනයේ සිට සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ වුවද විෂය නිර්දේශයට අදාළ කටයුතු පමණක් සිදුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට දැනුම් දී තිබෙනවා. ඉකුත් කාලසීමාවේ සිසුන්ට අහිමි වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීම සදහා එම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළා.

කොරෝනා ව්‍යාප්තියේ යළි වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් පාසල් ප්‍රජාවද සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතවීම ඉතා වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව මුඛ ආවරණ පළදා සිය දරුවන් පාසල් වෙත එවීමට දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද වෛද්‍යවරුන් සදහන් කළා.