Sunday, May 5, 2024

General line - 0115112241

උගුල් අටවා වනඅලි මරණ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති




මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වනඅලි මිය යන අවස්ථාවේදී ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීති ගෙන එන බව වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ සදහා දැනට පවතින නීතිවලට අමතරව ඊට අදාළ පනතට කඩිනමින් නව නීති ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ. 

මිහින්තලේ පුදුක්කුලම ගම්මානයේදී අනවසර විදුලි රැහැන්වල ගැටී ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් වනජීවී දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වනජීවි අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ.

මිහින්තලේ පුදුක්කුලම ගම්මානයේ සිය ඉඩමක අනවසර විදුලි රැහැන් ඇද ඇත්තේ ගොවියෙකු බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා. ඔහු සිය නිවසින් රැහැන් පද්ධතිය සදහා විදුලි ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කලාවැව ගාම්භාරත්වයලා සැලකුණු බරණ හස්ථියාගේ මරණයද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති බව පසුව අනාවරණ වුණා. පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වූයේ විදුලිසැර වැදීමෙන් මෙම දැවැන්ත හස්ථියාගේ මරණය සිදුව ඇති බවයි.
ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න ද නෙත් නිවුස් වෙත සදහන් කළේ මෙරට වනඅලි සම්පත ආරක්‍ෂා කර ගැනීමට පවතින නීතිරීති මෙන්ම පහසුකම්ද ප්‍රමාණවත් නොවන බවයි. 

මේ අතර අලි මිනිස් ගැටුම් හේතුවෙන් ඉකුත් වසර 03 තුලදී වන අලි 1,110 දෙනෙකු මියගොස් තිබෙනවා. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සදහන් කළේ එම කාලය තුළ වන අලි පහරදීම් හමුවේ පුද්ගලයින් 376 දෙනෙකු ද මියගොස් ඇති බවයි. 

අලි මිනිස් ගැටුම්වලින් 2009 වසරේදී වනඅලි මරණ 407 ක් හා පුද්ගල මරණ 122 ක් වාර්තා වී තිබෙනවා. 2020 වසරේදී වනඅලි 328 ක් මියගොස් ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 112 ක්. අලි මිනිස් ගැටුම් හේතුවෙන් 2021 වසරේදී වනඅලි මරණ 375 ක් හා පුද්ගල මරණ 142 ක් සිදුව ඇති බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.