Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දීය රජයෙන් පරිත්‍යාග කළ සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය නිල වශයෙන් භාරදීම අද සිදුකෙරේ




ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීම අද සිදුවනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එය සිදුවන්නේ කටුනායක ගුවන් හමුදා කදවුරේදීයි.

ඩ්‍රෝනියර් 228 ලෙස හදුන්වන එම ගුවන් යානය ශ්‍රී ලංකාවට භාරදීම සිදුවන්නේ අදට යෙදෙන ඉන්දීය නිදහස් දිනයට සමගාමීවයි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ වසර තුනක් පුරා ඉන්දියාව සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම ගුවන් යානය ශ්‍රී ලංකාවට හිමි වන බවයි. 

එම ගුවන් යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 20 ක්. ගුවන් යානය පිළිබද හැදෑරීම සදහා ගුවන් නියමුවන්ගෙන් සැදුම්ලත් ගුවන් හමුදාවේ 15 දෙනෙකුගෙන් පිරිසකට ඉන්දියාවේදී මාස 4 ක පුහුණුවක්ද ලබාදුන්නා. ගුවන් යානය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු ගුවන් හමුදාව මෙන්ම නාවික හමුදාව ද සමුද්‍රණ නිරීක්‍ෂණ කටයුතු සඳහා එය යොදා ගැනීමට නියමිතයි. 

මෙම ඉන්දීය ගුවන් යානය මෙරටට හිමි වන්නේ මතභේදයට තුඩුදී ඇති යුවාන් වන්ග් ෆයිව් චීන නෞකාව මෙරටට පැමිණීමට දිනක් තිබියදීවීම විශේෂත්වයක්. හෙට සිට ලබන 22 වනදා දක්වා අදාළ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදුන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.