Thursday, May 2, 2024

General line - 0115112241

දියණියගේ ඝාතනයට සාධාරණයක් ලෙස යුක්රේන යුද්ධය ජය ගන්නැයි, පුටින්ගේ ළගම මිතුරෙකුගෙන් ඉල්ලීමක්




ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් මොස්කව් අගනුවරදී ඝාතනයට ලක්වීම රුසියාව දැඩි ලෙස උදහසකට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියාව චෝදනා කරන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ දියණිය වූ දාර්යා දුගීනාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්රේනය වගකිව යුතු බවයි.

දාර්යා දුගීනා විසින් ධාවනය කරමින් සිටි මෝටර් රථය ඉකුත් සෙනසුරාදා පිපිරීමට ලක්වූ අතර එය යුක්රේන කාන්තාවගේ සැලසුමක් අනුව සිදුවූවක් බවයි රුසියාව පවසන්නේ.

අදාළ ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා යුක්රේන ජාතික කාන්තාව රුසියාවට ඇතුළු වී ඇති බවත්, ප්‍රහාරයෙන් අනතුරුව ඇය එසතෝනියාවට පළා ගොස් ඇති බවත් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය පවසනවා. 

ප්‍රහාරය හෙළා දකිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ එය කුරිරු සාපරාධී ක්‍රියාවක් බවයි. රුසියාවට අවශ්‍ය වන්නේ යුද්ධයේ ජයග්‍රහණය බවත්, සිය දියණිය ඒ වෙනුවෙන් දිවිය කැපකළ බවත් ඇලෙක්සැන්ඩර් ඩුගින් පවසා තිබෙනවා.

ඒ අනුව ඇයට සාධාරණයක් ලෙස යුද්ධය ජය ගන්නා ලෙස ඇලෙක්සැන්ඩර් ඩුගින් සිය සමීපතමයෙකු වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් යුක්රේනය පවසන්නේ දාර්යා දුගීනාගේ ඝාතනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.