Sunday, May 5, 2024

General line - 0115112241

රාජකීය අවමංගල්‍යය උත්සවයේ අසුන් පැනවීමේදී අර්බුදයක්




අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර සියලු‍ කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද උදෑසන 10 යි 30 ට දෙවන එලිසබෙත් රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලවෙන් පිටතට රැගෙන ඒමට නියමිතයි.

රාජකීය ගුවන් හමුදාවට අයත් කාලතුවක්කු රථයක තැන්පත් කෙරෙන දේහය අනතුරුව වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

එහිදී චාල්ස් රජු හා විලියම් කුමරු ඇතුළු එලිසබෙත් රැජිනගේ සමීපතම රාජකීයයන් දේහය පිටුපසින් ගමන් කරනු ඇති.

බ්‍රිතාන්‍යය රජ කිරුළේ දෙවන හා තෙවන උරුමක්කරුවන් වන විලියම් කුමරුගේ පුත්‍රයා සහ දියණිය ද එම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාජකීය අවමංග්‍ය උත්සවයේ කටයුතු බ්‍රිතාන්‍යය වේලාවෙන් උදෑසන 11 ට ආරම්භ කෙරෙන අතර එම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ සිටින විදේශීය රාජ්‍ය නායකයින් සහ ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතයි.
 
බීබීසී නාලිකාව මගින් එම සජීව විකාශය ලොව පුරා බෙදාහරිනු ඇති.

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිදු කෙරෙන රාජකීයයකුගේ අවමංග්‍ය උත්සවයක් එලෙස සජීවීව ලොව පුරා විකාශය කෙරෙන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.
 
මේ අතර රාජකීය අවමංග්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙනුවෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ අසුන් පැනවිමේදී බ්‍රිතාන්‍යය බලධාරීන් දැඩි අපහසුතාවට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඊට හේතුව වන්නේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයි.

ඒ අනුව ඉරානය, ඊශ්‍රායලය, ඉන්දියාව, පකිස්තානය හා උතුරු කොරියාව මෙන්ම දකුණු කොරියාව නියෝජනය කරමින් රාජකීය අවමංග්‍යය උත්සවය සඳහා සහභාගී වන රාජ්‍ය නායකින් මෙන්ම තානාපතිවරුන් සදහා අසුන් පැනවීමේදී බ්‍රිතාන්‍යය  බලධාරීන් දැඩි ලෙස කල්පනාකාරී වූ බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ.
 
මතභේදාත්මක රාජ්‍ය තාන්ත්‍රික අර්බුද පවතින රටවල රාජ්‍ය නායකයින් එක්ව අසුන් ගැන්වීමේදී ජාතීන් අතර අර්බුද අවුළුවාලීමක් සිදුනොවන ලෙස එම කටයුතු සිදුකිරීමට බ්‍රිතාන්‍යය බලධාරීන් දැඩි උත්සහයක් ගෙන තිබුණා.

රාජකීය අවමංග්‍ය උත්සවයට සහභාගී වන දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියාවේ තානාපතිවරයාට අසුන් පැනවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය බලධාරින් දැඩි අවධානයක් යොමු කර තිබූ බවද මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව ඉරානයේ හා ඊශ්‍රායලය ඉන්දියාව සහ පකිස්තානය ග්‍රීසිය හා තුර්කිය මෙන්ම සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය යන රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අසුන් පැනවීමේදී ද බ්‍රිතාන්‍යය බලධාරීන් දැඩි කල්පනාකාරීව කටයුතු කර ඇති බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ.