Saturday, July 27, 2024

General line - 0115112241

සෞදි අරාබියේ රැකියාවට ගොස් රෝගි වූ අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 15ට අධික මුදලක් වැය කර ගෙන්වා ගනියි




සෞදි අරාබියේ රියදුරු රැකියාවේ නිරතව සිටින අතරතුර මොලයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද දින  (28) අලුයම දිවයිනට ගෙන්වා ගන්නා ලදී.

පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සේගු අබ්දුල් කාදර් මොහම්මුදු ඊබ්‍රාහිම් නැමැති මෙම පුද්ගලයා 2019 දෙසැම්බර් මස 18 වන දින රියදුරු රැකියාවක් සඳහා විදේශ ගතවී ඇති අතර, ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ඔහු රෝගී වී ඇති බැවින් දිවයිනට ගෙන්වා දෙන මෙන් කාර්යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කාර්යාංශය, ඊබ්‍රාහිම් මහතා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර, දිවයිනට පැමිණෙන අතරතුර ගුවන්යානයේදී අවශ්‍ය සහාය ලබාදීම සඳහා කරාපිටිය රෝහලේ හෙද නිළධාරියෙකුද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් සෞදි අරාබිය බලා පිටත්කර හරින ලදී.

ඊබ්‍රාහිම් මහතාගේ රෝගී තත්ත්වය අනුව ඔහු ගුවන් යානය තුළදී විශේෂිත පහසුකම් සහිතව ගෙන්වා ගත යුතු බැවින් විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. එම සම්පූර්ණ මුදල ඔහුගේ පවුගේ ඥාතීන්ට දරාගත නොහැකි වූ අවස්ථාවක කාර්යාංශය මේ සඳහා රුපියල් ලක්ෂ 15ට අධික වියදමක් දරමින් අද දින උදෑසන UL 266 දරණ ගුවන් යානය මගින් දිවයිනට ගෙන්වා ගෙන රෝහල් ගත කිරිමට කටයුතු කර ඇත.