Friday, March 29, 2024

General line - 0115112241

බුකර් සම්මානය දිනූ ශෙහාන්ගෙන් ලාංකිකයින්ට පණිවිඩයක්




2022 වසර සදහා වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක විසින් දිනාගෙන තිබෙනවා. ඒ, ඔහු විසින් රචිත ද මූන්ස් ඔෆ් මාලි අල්මේදා කෘතිය වෙනුවෙන්. මෙම කෘතිය ශ්‍රී ලංකාවේ සිවිල් යුධ සමය තුළ මරණයෙන් නැවත ඉපදෙන ඡායාරූප ශිල්පියෙකුගේ ජීවිත කතාව පසුබිම් කරගනිමින් රචනා වී තිබෙනවා. සිවිල් යුද්ධයේ මිලේච්ඡත්වය හෙලිදරව් කිරීමට එම කෘතිය මගින් උත්සාහ ගෙන තිබෙනවා. 

මෙම කෘතිය බුකර් සම්මානය සදහා තෝරා ගනිමින් විනිසුරු මඩුල්ල පැවසුවේ, කෘතියේ විෂය පථයේ අභිලාෂය සහ එහි ආඛ්‍යාන ශිල්පීය ක්‍රමවල හාස්‍ය ජනක නීර්භීතභාවය සම්මානය පිරිනැමීමේදී අගය කළ බවයි. ප්‍රධාන විනිසුරු නීල් මැක්ග්‍රෙගර් එහිදී කියා සිටියේ මෙම කෘතිය මගින් පාඨකයා සිවිල් යුද්ධයේ ජීවිතය සහ මරණය අතර අදුරු හදවතකට රැගෙන යන බවයි. 

ලන්ඩනයේ රවුන්ඩ්හවුස්හී පැවති සම්මාන උත්සවයේදී මෙම සම්මානය ශෙහාන් කරුණාතිලකට පිරිනමනු ලැබුවේ කැමිලා පාකර් රැජිණ විසින්. එම සම්මානය සමග හිමිවන පවුම් 50,000ක මුදල් ත්‍යාගය ශෙහාන් කරුණාතිලක වෙත පිරිනැමීම පසුගිය වසරේ බුකර් සම්මානය හිමිකරගත් ඩේමන් ගල්ගුට් විසින් සිදුකළා.

සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රේක්ෂකාගාරයට අදහස් දක්වමින් ශෙහාන් කරුණාතිලක ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව රටක් ලෙස පරාජයට පත් වී ඇති මොහොතක මෙම සම්මානය ජයග්‍රහණයක් වන බවයි. 

ශෙහාන් කරුණාතිලකගේ පළමු නවකතාව වන්නේ 2011 වසරේදී රචනා කළ චයිනමන් කෘතියයි. එම කෘතියද ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු ලොව හොදම නවකතාවක් ලෙස පිළිගැනෙනවා. 

මේ අතර බුකර් සම්මානය හිමිකරගත් ශෙහාන් කරුණාතිලකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ශෙහාන් කරුණාතිලකගේ ජයග්‍රහණය පිළිබද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.