Wednesday, May 8, 2024

General line - 0115112241

තොණ්ඩමන්ලා සමග එක ගමනකට සූදානම්ද? මනෝ ගනේෂන්ගෙන් උත්තර




ලංකා කම්කරු කොංග්‍රසය සමග එක්ව දේශපාලන ගමනක් යාමට තීරණයක් ගෙන නොමැති බව දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ ඉදිකළ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහභාගීවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මේ බව කියා සිටියා.

කෙසේවෙතත් දෙමළ දේශපාලන පක්ෂ එකම ස්ථානයකට ඒකරාශී වීම සම්බන්ධයෙන් වතුකරයේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

මේ අතර දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහභාගීවීම සම්බන්ධයෙන් එම පක්ෂ දෙකේම අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වුණා. 

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයාට එම උත්සවයට සහභාගීවන ලෙස ආරාධනා කර ඇත්තේ දමිල ප්‍රගතිශීලී සන්ධානයේ ඉහළ පෙලේ නායකයින් දෙදෙනෙකු විසින් බවටයි වාර්තා වුණේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ සෙසු  නායකයින් එය දැනුවත්ව සිට නොමැති බවයි වාර්තා වුණේ.  

ඊට විරෝධය පළ කිරීමක් ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉකුත් දා පැවති එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිය කතාව සිදු කර ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා පැමිණීමට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. 

මේ අතර ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා අදාළ උත්සවයට සහභාගීවීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ නිලධාරියෙකුද සිය විරෝධය පළ කර ඇති බව නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.