Sunday, May 5, 2024

General line - 0115112241

දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් වෙයි - තීරණය කථානායකවරයාට




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව නිවේදනය කළා.

අදාළ පෙත්සම් අද දෙවන දිනටත් බුවනෙක අලුවිහාරේ, මුර්දු  ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල ඉදිරියේ  විභාගය පැවැත්වුණා.

දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අද දින වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන හෙට දින ඉදිරිපත් කළ ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ඇතුළු පාර්ශව අටක් විසින් පෙත්සම් ඉදිරිපත් කළා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදනය උල්ලංඝනය නොවන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර සහ එහි උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු විසින් ද අතුරු පෙත්සම් ශේෂ්ඨාධිකරණ විට ඉදිරිපත් කර තිබුණා