Saturday, January 11, 2025

General line - 0115112241

අපරාජිත ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි




2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 02 ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි. සීන් විලියම්සන් ලකුණු 56 යි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුළු 04 ක් දවා ගත්තා. දිල්ෂාන් මධුශංක ලකුණු 15 කට කඩුළු 03 යි. 


ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33 යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා. පැතුම් නිස්සංක පන්දු 102 කදී නොදැවී ලකුණු 101 ක් රැස් කළේ හතරේ පහර 14 ක්ද සමගින්. තරගයේ වීරයා සම්මානය මහීෂ් තීක්ෂණ විසින් හිමිකර ගත්තා. 


2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 02 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබනවා.