ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ මහජන නියෝජිතයින් සඳහා විශේෂ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ගාල්ල වක්වැල්ල දකුණු පළාත් කළමණාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේදී 2025-01-10 වන දින පෙරවරුවේදී දකුණූ පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම මස 10 හා 11 දෙදින මෙම වැඩසටහන පැවැත්වෙන අතර ගරු ආණ්ඩුකාරතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ වන විට ලංකාවේ මහජන නියෝජිතයින් සහිතව ක්‍රියාත්මක වන එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වේ.
මෙම පුහුණු වැඩසටහනේ සම්පත් දායකයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු කොමසාරිස් ගාමිණී ගුණසේකර මහතා විසිනි.
එහිදී ප්‍රාදේශීය සභා පනත, ඒ හා බැඳී ඇති අනෙකුත් පනත් ගැන මහජන නියෝජිතයින් හට අවබෝධයක් ලබා දීමටත්, ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති හා මන්ත්‍රීවරුන්ගේ කාර්ය භාරය පිළිබඳ දැනුවත් කිරීමටත් කටයුතු කර තිබුණි.
මෙම පුහුණු වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) දිලේකා කුඩච්චි මහත්මිය ප්‍රකාශකර සිටියේ මහජනතාවට වඩාත් සමීප විෂය පථයක් වන්නේ පලාත් පාලන විෂය බවත්, එය හඳුනාගෙන කටයුතු කිරීමට ලැබීම සභිකයින් ලෙස ඔබට ලැබුනු හොඳ අවස්ථාවක් බවත්, වර්ථමාන රජය යටතේ සේවාවන් ඩිජිටල්කරණයට ප්‍රධාන තැනක් ලබා දී ඇති අතර එය රාජ්‍ය ප්‍රතිපත්තිය බැවින් මෙම පලාත් පාලන විෂය පිළිබඳව ජනතා නියොජිතයින් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
මෙහිදී අදහස් දක්වමින් ගරු ආණ්ඩුකාරතුමන් “ පලාත් පාලන ආයතන වලට අපි ඉස්සර කිව්වෙ ගම් සභා කියලා.
පැරණි කාලයේ දැන් වගේ ප්‍රශ්න සංකීර්ණ නැහැ. මෙම ගම්සභා ක්‍රමය පණ්ඩුකාභය රජුගේ කාලයේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ.
එය විකාශණය වී ඇවිත් දැන් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ලෙස පැමිණ තිබෙනවා.
ඔබලා තමන්ගේ පලාතේ, ප්‍රදේශයේ මිනිසුන් තෝරාගෙන තිබෙන්නේ යම් විශ්වාසයක් ඇතිවයි. එය ඔබගේ පක්ෂයේ ප්‍රතිපත්තියට අනුව ලබා දී තිබෙනවා.
රටේ නීතියක් තිබිය යුත්තේ ජනතාවගේ පහසුවට මිස අපහසුතාවයන්ට පත් කිරීමට නොවේ. යම් අයෙකුට තමන්ගේ නම ඇතුලත් කර වරිපනම් අංකයක් ගන්න බොහෝ කාලයක් ගත වෙනවා.
එය වෙනස් වෙන්න අවශ්‍යයි. ජනතාවට සරල නිවැරදි වැඩසටහනක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. එයට අළුතින් නීති සකස් කල යුතුයි.
ඔබලාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධන සැලසුම් සකස් කර අවසන් වූ පසු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා ගන්න කටයුතු කරන්න.
මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දකුණු පළාතේ හොඳම ප්‍රාදේශීය සභාව බවට පත් කිරීමට කටයුතු කරන්න.
ඒ සදහා මෙම පුහුණු වැඩසටහන පන්නරයක් ලෙස යොදා ගන්න.” යනුවෙන් ප්‍රකාශ කර සිටියහ.
මෙම අවස්ථාව සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් බී.කේ.එස්.රවින්ද්‍ර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් දිලිනි සුමාලි යන මහත්ම මහත්මීන් සහ මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.