Saturday, January 11, 2025

General line - 0115112241

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර උණුසුම් එක්දින ක්‍රිකට් තරඟයක්




එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට මාසයක් ඉතිරිව තිබියදී එක්දින පිටියේ වාර්තාවූ තවත් උණුසුම් තරඟයක් ශ්‍රී ලංකාවේදී ඊයේ පැවැත්වුණා. ඒ, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 දී කඬුලු 05 කට ලකුණු 300 ක් රැස් කළා. එහිදී රමනුල්ලා ගුරුබාස් වාර්තාගත ලකුණු 151 ක් රැස් කළා. 

එය සැලකෙන්නේ පාකිස්තානයට එරෙහිව කඬුලු රකින්නෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එමෙන්ම ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකු පාකිස්තානයට එරෙහිව රැස්කළ පළමු ශතකයද මෙය වුණා. ඔහු සහ ඊබ්‍රහිම් සද්‍රාන් පළමු කඬුල්ලට ලකුණු 277 ක සබඳතාවක් ගොඩනැගුවා. එය සැලකුණේ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් දෙදෙනකු ඕනෑම කඬුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙසයි. 


ලකණු 301 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගෙන ගිය පාකිස්තානය තරඟයේ අවසන් පන්දුවේදී තරඟය ජයගත්තේ එක් කඬුල්ක් පමණක් අතැතිව තිබියදීයි. ඉමාම් උල්හක් ලකුණු 91 ක් රැස්කළ අතර ශඩාබ් ඛාන් වේගවත් ලකුණු 48 ක් රැස්කළා. 

තරඟය ජයගැනීම සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 11 ක් රැස්කරගත යුතුවූ අතර පාකිස්තාන අවසන් පිතිකරුවන් වූ නෂීම්සා පන්දු 05 ක් තුළ එම ඉලක්කය සම්පූර්ණ කළා. එම තරඟයේදී ලකුණු 602 ක් වාර්තාවූ අතර පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරඟයක වාර්තාවූ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.