Friday, January 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු රන් පදක්කමක් අභියස




චීනයේ හැංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

ඒ අද පැවති අවසන් පූර්ව වටයේ තරගයක දී පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුළු 6කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට  නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් රැස් කර ගත හැකි වූයේ ලකුණු 75 ක් පමණයි.

ෂවාල් සුල්ෆිකාර් ලකුණු 16 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝදිනී ලකුණු 21 කට කඩුලු 03 ක් දවා ගත්තා. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 03 කදී කඩුලු 04 ක් දැවී ලකුණු 77 ක් රැස් කර ගනිමින්  තරගයේ ජය වාර්තා කළා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 41ක දී ලකුණු 23 යි. මෙම තරගාවලියේ අනෙක් අවසන් පූර්ව තරගයේ දී බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කිරීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ අනූව ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට තරග වැදීමට නියමිතයි.

එම තරගයේ ජය හිමි කර ගන්නා කණ්ඩායමට රන් පදක්කම හිමි වන අතර පරාජයට පත් වන කණ්ඩායමට රිදී පදක්කම හිමි වනු ඇති.