Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයට යා යුතු දිනය අද - ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තවම නැහැ




එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යා යුතුව තිබෙනවා.

ඒ, ලෝක කුසලානයේ පෙර පුහුණු තරඟ ලබන සිකුරාදා සිට ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන්. පෙර පුහුණු තරඟ ආරම්භ වන්නේද ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟයෙන්.

එහෙත් අද පිටත්වීමට නියමිත ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වීම ගැටලු සහගත තත්ත්වයක් බවයි ක්‍රීකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

ලෝක කුසලානයට තරඟ කරන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය මෙතෙක් නම් නොතිබීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් ආබාධ වලට ලක්වීමයි. ක්‍රීඩා ආරංචි මාර්ග පැවසුවේ ආබාධ වලට ලක්වූ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර මෙතෙක් පූර්ණ සුවය ලබා  නොමැති බවයි.

දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය සුව වීම සැලකිය යුතු මට්ටකම පැවතියද ඔහුගේ පන්දු යැවීම තවමත් සියයට සියයක මට්ටමට පැමිණ නැහැ. 

දුෂ්මන්ත චමීර පන්දු යැවීමේ කටයුතු ආරම්භ කර ඇතත් ඔහු ලෝක කුසලාන තරඟාවලියට රැගෙන යාම අවධානම් බවයි වෛද්‍ය මතය වී ඇත්තේ. ඒ අනුව ඔහුට බොහෝ දුරට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වනු ඇති. 


වනිදු හසරංග ආබාධයකට ලක්වූයේ ඉකුත් ඛඡඛ තරඟාවලිය අතරතුරයි.

ඔහුගේ ඉන් යම් මට්ටමකට සුවය ලබා සිටියත් යලි එම ආබාධ තත්ත්වය මතුව ඇති බවයි නවතම ආරංචි මාර්ග පැවසුවේ.

ඒ අනුව වනිදු හසරංගට තවත් සති 4ත් 6ත් අතර කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නෙකු වන මහීෂ් තීක්ෂණ ද ආසියානු කුසලානය අතරතුර ආබාධයකට ලක්වුණා.

කෙසේවෙතත් ලෝක කුසලාන තරඟාවලියට එක්විය හැකි මට්ටමෙන් ඔහු මේවනවිට සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ඔහුට ලෝක කුසලානයේ පෙර පුහුණු තරඟ අහිමි වනු ඇති.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සමඟ ආරම්භ වන ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන තරඟ බිමේ පළමු තරඟයට මහීෂ් තීක්ෂණට එක්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් වන ලහිරු කුමාර හා දිල්ෂාන් මදුශංකටද ආබාධ හේතුවෙන් ආසියානු කුසලානය අහිමි වුණා.

නමුත් ඔවුන් දෙදෙනාම ලෝක කුසලානය සඳහා සූදානම් බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ආරංචි මාර්ග පැවසුවේ.