Friday, January 10, 2025

General line - 0115112241

ආබාධවලට ලක් වූ තිදෙනෙක් සමඟ ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ




එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා.

ඒ, ශ්‍රී ලංකා පිල අද දිනයේ ඉන්දියාව බලා පිටත්ව යා යුතුව තිබියදීයි. නවසීලන්ත තරඟාවලිය හේතුවෙන් බංග්ලාදේශය හැර සෙසු සියලු කණ්ඩායම් සිය අවසන් සංචිත ප්‍රකාශයට පත් කරද්දී ශ්‍රී ලංකාව පමණක් සිය සංචිතය ප්‍රකාශයට පත් කලේ නැහැ.

නෙත් ස්පෝට්ස්මන් අද උදෑසන අනාවරණය කල පරිදි ඊට හේතු වී තිබුණේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධ වලට ලක්ව සිටීමයි.

ඒ අතර වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මදුශංක යන ප්‍රධානතම වේග පන්දු යවන්නන් ඇතුලත්.

කෙසේ වෙතත් මෙම සියලු බාධක මධ්‍යයේ අවසන් මොහොතේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කලේ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතවයි.

එහෙත් එහි විශේෂත්වය වන්නේ ඉකුත් කාල සීමාවේදී ආබාධවලට ලක්ව මෙතෙක් සම්පූර්ණ සුවය නොලැබූ ක්‍රීඩකයින් තිදෙනෙකුම එම සංචිතයේ සිටීමයි.

වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ හා දිල්ෂාන් මදුශංක එම ක්‍රීඩකයින් තිදෙනායි.

මේ අතර, ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ඔහුට අවසන් වරට පැවති ඔ20 ලෝක කුසලානය මෙන්ම ආසියානු කුසලානය ද අහිමි වුණේ ආබාධ තත්ත්වය හේතුවෙන්. 

අද නම් කල ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස දසුන් ශානක නම් කර තිබෙනවා.

උප නායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි. පිතිකරුවන් ලෙස, පැතුම් නිස්කලංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, චරිත් අසලංක නම් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ධනංජයද සිල්වා හා දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත්. පන්දු යවන්නන් ලෙස මතීෂ පතිරණ, ලහිරු කුමාර සහ කසුන් රාජිත නම් කර තිබෙනවා. 

කලක් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇති කල චාමික කරුණාරත්න සංචිතයට නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි. දුෂාන් හේමන්ත ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා.