Friday, January 10, 2025

General line - 0115112241

දනුෂ්ක ගුණතිලක දිවයිනට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද රාත්‍රියේ මෙරටට පැමිණිමට නියමිත බව වාර්තා වනවා.

ඒ, ඔස්ටේ්‍රලියාවේදී කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා යටතේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විභාගවූ නඩුවෙන් නිදොස්කොට නිදහස් වීමෙන් පසුවයි. අදාළ නඩු විභාගයෙන් අනතුරුව ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන්නේ මාස 11 කට පසුව වීම විශේෂත්වයක්.

ඉකුත් වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලිය අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නම් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසිය හමුවේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, සිඩ්නි පොලිසිය 2022 වසරේ නොවැම්බර් මස 6 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු සිඩ්නිහි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි අතර අනතුරුව ඔහු මුදා හැරුණේ දැඩි ඇප කොන්දේසි මතයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොණුකර තිබූ එම නඩුව සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී ඉකුත් 21 වැනිදා විභාග කර අවසන් වූ අතර, එහි තීන්දුව ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමටයි එරට අධිකරණය තීන්දු කළේ.