Friday, January 10, 2025

General line - 0115112241

කුසල් - චරිත් - දසුන්ගේ පිත්තට පණ එයි - ශ්‍රී ලංකාවත් නව ලෝක වාර්තාවකට එක් වෙයි




ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 102ක විශිෂ්ට ජයක් වාර්තා කලා.

මෙම තරගය තවත් ලෝක කුසලාන තරගයකට එහා ගොස් ලෝක වාර්තා රැසක් බිහි වූ තරගයක් ලෙසටයි ඉතිහාසයට එක් වුණේ. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු  428ක් රැස් කලා.

එය ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවයි.

එමෙන්ම පන්දු 49කදී සිය ශතකය වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු රැස්කල වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඒඩ්න් මාක්‍රම් සමත් වුණා.

එමෙන්ම මෙම තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස්කල අතර ලෝක කුසලාන තරගයක ශතක 03ක් රැස් කල ඉතිහාසයේ පලමු අවස්ථාව මෙයයි.

එමෙන්ම එක්දින තරගයක ශතක 03ක් වාර්තා වූ සිව්වන අවස්ථාව මෙය වන අතර ඉන් අවස්ථා 03ක්ම වාර්තා කර ඇත්තේද දකුණු අප්‍රිකාවයි.

ලෝක කුසලානයක මංගල තරගයේදී ශ්‍රි ලංකා පන්දු යවන්නෙකු යැවූ දුර්වලම පන්දු යැවීම සටහන් කරමින් දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 10ක් තුල ලකුණු 81ක් ලබා දුන්නා. 

මෙම තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 400 පසු කර ගිය අතර දකුණු අප්‍රිකාව එක්දින පිටියේ ලකුණු 400ට වඩා රැස් කල 8 වන අවස්ථාව මෙයයි. එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු කණ්ඩායම ද දකුණු අප්‍රිකාව වනවා. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 44යි පන්දු 05 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 326 ක් පමණයි.

ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කල කුසල් මෙන්ඩිස් පන්දු 42කදී වේගවත් ලකුණු 76ක් රැස් කලේ හයේ පහර 8ක් සහ හතරේ පහර හතරක්ද සමගයි.

කුසල් සිය අර්ධ ශතකය රැස් කලේ පන්දු 25කින්. එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයක වාර්තා කල තුන්වන වේගවත්ම අර්ධ ශතකයයි.

චරිත් අසලංක පන්දු 65කදී හයේ පහර 03ක් සමග ලකුණු 79ක් රැස් කලා. කලකට පසු ලකුණු අතරට පිවිසි දසුන් ශානක වේගවත් ලකුණු 68ක් රැස් කලේ පන්දු 62කින්.

කසුන් රාජිත ලකුණු 33යි. කෙසේ වෙතත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 326 කට සීමා වුණා.

මෙම තරගයේදී දෙපිලම විසින් ලකුණු 754ක් රැස් කල අතර එය එක්දින ලෝක කුසලාන තරගයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවයි.