Wednesday, January 8, 2025

General line - 0115112241

වනිදුගෙන් ක්‍රිකට් වාර්තාවක්  - ශ්‍රි ලංකාවට තරගාවලි ජයක්




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ, දෙරට අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමත් සමගයි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටයි.

කෙසේ වෙතත් තරගයට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තාවකාලිකව නතර කිරීමට ද සිදුවුණා.

ඒ අනුව තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 27 කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 07ක් බිඳහෙලුවා.

එය වාර්තා පොත් අතරට එක්වූයේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පස්වන හොදම පන්දු යැවීම ලෙසයි.

එහි පළමු තැන තවමත් පසුවන්නේ කඩුලු 08ක් බිද හෙලූ චමින්ද වාස්.

ඒ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරගයක දැක්වූ දෙවන හොඳම පන්දුයැවීම ලෙස ද මෙය සටහන් වුණා.

වනිදු මෙලෙස ඊයේ එක්දින ක්‍රිකට් පිටියට පිවිසියේ එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වී මාස 06කට පමණ පසුවයි.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ලකුණු 97ක ඉලක්කය පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 02ක් දැවී සපුරා ගැනීමට හැකි වුණා.

කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුළ නොදැවී ලකුණු 66ක් රැස් කලා.

තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතයි.