Wednesday, December 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට 




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද භාර දී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ දී කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසින්.

එම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළා.

එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, මනූෂ නානායක්කාර සහ ටිරාන් අලස් අයත්.

එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය ජනවාරි 08 වනදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත් යෝජනා කර තිබෙනවා.  

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පිළිබඳවත්, කුසලතාවය, ඇතුළු තවත් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.