බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඇයට නියම කෙරුණු දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කර අවසන් වන තුරු එලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහැර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම තීන්දුව ලබා දුන්නා.
ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇයගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය කෙරුණා.
ඒ අනුව ඇයට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූවේ.
එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවාදායිකාව ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.
අදාල ඇපෑල විභාග කිරීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි නිසාත් තම සේවා දායිකාවට කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින නිසාත් සුවිශේෂී කරුණු සේ සලකා ඇයව ඇප මත මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
එහෙත් එම ඇප ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විරෝධය පළ කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අභියාචනාධිකරණය විසින් අභියාචනා පෙත්සම් විභාගය කඩිනමින් සිදුවන හෙයින් ඇප නියම කිරීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි.
කෙසේවෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.