Wednesday, November 20, 2024

General line - 0115112241

දයාසිරිගේ පැමිණිල්ලකට මැදිහත් වීමට අලගියවන්න කළ ඉල්ලීම ගැන තීන්දුව හෙට

උදය කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට ප්‍රකාශයට පත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

මෙම නඩුවේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් අදාළ නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් දුමින්ද දිසානායක මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර නොතිබීම විශාල ඌණතාවයක් බව සඳහන් කළා.

ඔවුන් වග උත්තරකරුවන් වශයෙන් නම් නොකිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  මෙම නඩුකරය තුළ සම්පූර්ණයෙන්ම නියෝජනය වීමක් සිදු නොවන බවත් පෙන්වා දුන් නීතිඥ ශාන්ත ජයවර්ධන තම සේවා දායකයා මෙම නඩුකරයේ විත්තිකරුවකු ලෙස නම්කර ඔහුට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම්වලට විරෝධය පළ කළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු මහලේකම් සරත් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්සේන කියා සිටියේ මෙම නඩුව පවරා මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී තිබෙන බවත් එතෙක් මෙම නඩුකරය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ පාර්ශවයක් මෙම අවස්ථාවේදී ඊට මැදිහත්වීමට අවසර ඉල්ලීම ගැටළු සහගත බවයි.

එම නිසා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ඉල්ලීම ඉවත දමා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ඉල්ලීම පරිදි නඩු විභාගය අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා.